ලකුණු 353ක් ඉදිරියෙන් සිටියදිත් දෙවැනි වර පන්දුවට පහරදීමේ වාරය බංග්ලාදේශයට ලබා නොදී සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා පිලේ කඩුලු 6ක්ම ලකුණු 89ක් ඇතුළත උදුරා ගැනීමට බංග්ලාදේශ පිලේ පන්දු යවන්නෝ සමත් වූහ. චැටොග්රැම් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178කින් නිමාවට පත්වූයේ පස්වරු තේ පානයට මොහොතකට පෙරය. අනතුරුව සත්කාරක පිලට ඉනිමක පරාජයෙන් බේරීමට දෙවැනි වරටත් පන්දුවට පහරදීමට සිදුවනු ඇතැයි පළ වූ විචාරක අනාවැකි ඉවත දැමූ ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ආරම්භ කරනු ලැබුවේ දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශ පිල හමුවේ තැබීමට වුවද, තුන්වැනි දිනයේ ආරම්භයේ සිටම පිතිකරුවන් අන්දමන්ද කළ තණතීරුවේ ශ්‍රී ලංකා පිලේ නායකයාගේ බලාපොරොත්තුව බිඳ වැටිණි. ඊයේ දිනයේදී පමණක් මේ විස්මිත තණතීරුවේ දෙපිළේහිම කඩුලු 15ක් බිඳ වැටීම කැපී පෙණිනි.
කෙසේ වෙතත් දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර, නොදැවී පිටියේ රැඳී සිටින ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 39ක් ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 3ක් ද ලබා සිටිති.
ඊයේ උදෑසන තරගය ආරම්භ වන විට එක් කඩුල්ලකට ලකුණු 55ක් ලබා සිටි බංග්ලාදේශ පිලේ තවත් කඩුලු 3ක් දිවා ආහාරයට පෙර බිඳ දැමීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත් වූහ. දිවා ආහාරයෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන්ට හිස එසැවීමට ඉඩ නොලැබුණු අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාලීමට සමත් විය. ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.
තේ පානයෙන් පසු ඇරැඹුණු ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ දෙවැනි ඕවරයේදීමය. අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 15ක් වන විට කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් කිරීමට කලීඩ් අහමඩ් සමත් වූ අතර, ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක්ව තුන්වැනි කඩුල්ලට එකතු කළ ලකුණු 45 ඊයේ දිනයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ඉහළම ලකුණු සම්බන්ධතාව බවට ද පත් විය. මුළු ලකුණු සංඛ්‍යාව 60 දී නිෂාන් මධුෂ්ක දැවී යෑමෙන් පසු ඉතිරි කඩුලු 3ම බිඳ වැටුණේ ලකුණු 29ක් ඇතුළතදීය. ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ හසන් මහමූද් කඩුලු 4ක් බිඳ දැමූ අතර, කාලීඩ් අහමඩ් කඩුලු 2ක් දවාලීය. අද තරගයේ සිව්වැනි දිනයයි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම – සියලුදෙනා දැවී 531යි. (ඕවර 159) කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිෂාන් මධුෂ්ක 57, ප්‍රභාත් ජයසූරිය 28 (ශකීබ් අල් හසන් 110/3, හසන් මහ්මූඩ් 92/2)