Home » සාජා නුවර දී විදුලි සැර වැදුණු ජයමිණීගේ නිසල සිරුර දිවයිනට

සාජා නුවර දී විදුලි සැර වැදුණු ජයමිණීගේ නිසල සිරුර දිවයිනට

by yasara
April 3, 2024 11:12 am 0 comment

වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්වය නිසා  ,  එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී , විදුලි සැර වැදී මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර අද (03)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

කළුතර , මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ අවිවාහක තරුණියකි .

ඇය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සිටි ශිෂ්‍යයාවකි .

ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජ් හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11 ක කාළයක් සේවය කරමින් සිටියාය .

ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යාමට පැමිණ තිබුණි .

ඒ වනවිට වසර ගණනාවකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව නිසා සාජා නුවර ද ගංවතුර ආපදා තත්වයක් ඇති වී තිබුණි .

ඇය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර , මෙම ගංවතුර තත්වයත් සමග මෙම විදුලි පද්ධතිය කාන්දු වීමට පටන් ගෙන තිබේ .

මේ බැව් නොදත් ජයමිණි සදමාලි විජේසිංහ ද මෙම ගංවතුරට බසිත්ම , විදුලි සැර වැදීමට ලක් වී තිබුණි .

ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට , බංගලදේශ ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලි සැර වැදී මිය ගොස් තිබේ .

ජයමිණිට විදුලි සැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ , එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටූවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන තිබේ .

ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයගේ වැඩිමහල් සොහොයුරු මේ පිළිබඳව අදහස් දක්වමින් , තමන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික නිලධාරීවරයෙකු බවත් , මෙම භූගත විදුලි බල පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රීය වී නොතිබීම සහ එම පද්ධතිය ගංවතුර ආපදා තත්වය තුළ දී අක්‍රීය කිරීමට පියවර නොගැනීම පිළිබඳ සජා නුවර එරට විදුලි බල මණ්ඩලය වෙත චෝදනා ඉදිරිපත් කළේය .

තමන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසන ලෙස තමන්ව දැනුවත් කළ බව ඒ මහතා පැවසීය .

ජයමිණි සේවය කළ ආයතනය මෙම මළ සිරුර ශ්‍රී ලංකාවට එවීම සදහා බරපැන දරා තිබූ අතර තවත් ඩිරාම් 4,000 ක් ද එවා තිබූ බව ද එම සොහොයුරා පැවසීය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT