Wednesday, March 26, 2025
Home » 33% මේ තරම් පහළට ආවේ ඇයි…?

33% මේ තරම් පහළට ආවේ ඇයි…?

by sachintha
April 3, 2024 1:00 am 0 comment

සති දෙකක කාලයක් තුළ, අපි ඔවුන්ගේම දේශගුණය තුළ වෙනස්, විශ්මයජනක නිවාඩු දින හතරක් පමණ ගතකර ඇති බව හැඟෙමු. නැවත පැමිණීමේදී වැඩිපුර දැකීමට අවශ්‍ය ස්ථාන මොනවාදැයි අපි දැනටමත් සැලසුම් කර ඇත්තෙමු.” යැයි සඳහන් කරමින් නාසියා ප්‍රවීන් ‘ද ගාර්ඩියන්’ පුවත්පතට ලිපියක් ලීවේය. ද ගාර්ඩියන් වන් පුවත්පත් සිය ලේඛන සඳහා වගකියන්නේය. ඒවා අටවා ගත් වෙබ් අඩවි වන් මාධ්‍ය ජාලා නොවේ. එහි ලිපියක එන සෑම වාක්‍යකම වගකීමේ මුද්‍රාව ඇත්තේය. නාසියා ප්‍රවීන්, ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සංචාරකයෙක් ලෙස අත්දැකීම් රැගෙන, සිය පත්තරය සඳහා විශේෂාංග ලිපියක් සකස් කිරීමටය. හෙතෙම එම ලිපිය අවසන් කරන්නේ, ශ්‍රී ලංකාවට නැවත පැමිණීමේ සැලසුම දැනටමත් සකසා අවසන් කියමිනි.

අත්දැකීම් විස්තර කර එහි නැවත පැමිණීමක් සඳහා සැලසුම් ද සකස් කර ඇත්තේ යැයි සඳහන් වන විට පාඨකයා වෙත ලැබෙන චිත්‍රය සෙල්ලම් නැත. ලංකාවේ සංචාරය සඳහා සුප්‍රකට ලේඛක ඇන්ටන් චෙකොෆ් පැමිණියේ සහලින් දූපතේ සංචාරය කිරීමෙන් පසුවය. හෙතෙම සිය ලංකා ගමනින් පසුව ලියා තබන ලද්දේ “මම අපායට ගියෙමි. ඒ සහලින් දූපතයි. මම දිව්‍යලෝකයට ගියෙමි. ඒ ලංකාවයි.” කියාය. එහෙම වාක්‍යයක් කියවූ කල්හි මේ රටට පැමිණීමට අයෙක්ට සිත් දෙනවා විනා ‘සහලින් දූපත’ පැත්තේ කරක් ගැසීමේ බලාපොරොත්තුවක් ඇතිවන්නේ නැත. නාසියා ප්‍රවීන්ගේ විශේෂාංගය කියවන කල්හි බ්‍රිතාන්‍ය පාඨකයා වෙත සිහියට එන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අගය පමණක් නොවේ. ලෝකය වටා ගොස් අත්දැකීම් ඇති ප්‍රමුඛ මාධ්‍යවේදියෙක්, ශ්‍රී ලංකාවේ ඊළඟ සංචාරය සඳහා ද සැලසුම් කර ඇති ආකාරයය.

සංචාරකයා යනු අතින් ගෙවා තානාපතිකම් සඳහා පැමිණෙන අයෙකි. ඔහු ලබන අත්දැකීමකට වචනයෙන්, අවට සැරිසරන්නේය. ලෝකයේ මිනිස්සු තවමත් විශ්වාස කරන්නේ අනෙකා කියන දේ මිස, විශ්ලේෂණාත්මක ආකරයෙන් සිදු කරන විග්‍රහ නොවේ. කෝටි ගණන් මුදල් වියදම් කර, මේ ‘පානය’ බොන්නැයි, දැන්වීම් දමනවාට වඩා, අපේ සගයෙක් “අර බීම එක මාරයි. බීලා බැලුවේ නැද්ද”යැයි කියූ විට, අපට ඒ සිසිල් බීම බෝතලයක් බොන්නට අත්‍යවශ්‍ය වන්නේය. අනික් පැත්ත ද එසේමය. නිෂ්පාදනය කෙතරම් අනර්ඝදැයි සහතික ලබා තිබුණද, අසල්වැසියා ‘ඒ භාණ්ඩය මල ජාරාවක්’ කියූ කල්හි අර සහතික ආදිය විනාශය. ඒ භාණ්ඩය දිහා අප ආයෙත් හැරී බලන්නේ නැත. ‘වන් ටු වන්’ න්‍යාය තරම් අලෙවිකරණයේදී තවමත් කිසිවක් ප්‍රබල නැත්තේය.

මේ නිසා නවතම ප්‍රචාරක මාධ්‍ය බවට පත්ව ඇත්තේ කටකතා කල්ලි නිර්මාණය කිරීමය. කඩපොළට ගොස් සිටින අයෙක් එක්තරා යෝගට් එකක් ගෙන රස කර කමින් එහි ගුණය වනන්නේය. අවට සිටින පිරිසට ඇසෙන ලෙස කඩහිමියාගෙන් තවත් යෝගට් පහ හයක් ඉල්ලා ගන්නේය. මේවා දකින වටේ සිටින පිරිසක් සිතන්නේ, මේ යෝගට් ඉස්තරම් බවය. එහෙම දෙන ප්‍රචාරය ඇඩ් දහයක් දමාවත් ගන්නට බැරිය. සිගරට් වැනි දේ සඳහා ප්‍රචාරණය තහනම්ය. අප දන්නා සෑම ජනකාන්ත නළුවෙක්ම රංගනයේදී සිගරට් උගුරක් දෙකක් විලාසිතාවට අදින්නේය. ඒ කාලයේ මේ ආකාරයට සිංහල රිදී තිරයේ සිගරට් බිව්වේ ගාමිණී ෆොන්සේකාය. අපිට ඉහළ පරපුරේ බොහෝ පිරිසක් සිගරට් විෂ පපුවට ඇදගත්තේ, ගාමිණි නිසාය. ඔය සංකල්පයට ඇඩ්වර්ටයිසින් භාෂාවෙන් කියන්නේ ඩාක් මාකටින් ලෙසය.

මේ ආකාරයේ ප්‍රචාරණය, පුරුද්දක් ලෙස දේශපාලනයේදී සිදු කරන්නේ ජවිපෙය. එක කාලයකට ෆයිල් සන්දර්ශන එළියට එයි. සීට්ටු අදින විට තුණ්ඩු ගන්නා සේ එකක් අරගෙන, ඔහේ කියවාගෙන යයි. තව ටිකක් යට හරියෙන් එකක් අදියි. එය ද කියවයි. ටික කලකින් ෆයිල් නැත. මේ ළඟ අලුත් ෆයිල් වගයක් ගැන කතාවක් යවා තිබිණි. ඒ කිසි ලිපි ගොනුවක් අධිකරණයට ගියේ නැත. ඔහේ රඟ දුන්, ඔළු බක්කෝ පමණය. ඔළු බක්කා වනාහි සාමාන්‍ය මිනිසෙක් මිස, ඔළුවේ හැටියට බුද්ධිය ඇති කෙනෙක් හෝ ඇඟේ හයිය ඇති අයෙක් නොවේ.

මේ ආකාරයෙන් ළඟදී දියත් කරන ලද ප්‍රචාරක ව්‍යාපාරය වූයේ සංචාරක ව්‍යාපාරයට පහර ගැසීමය. මේ රටට පැමිණි, ද ගාර්ඩියන් පුවත්පතේ මාධ්‍යවේදී නාසියා ප්‍රවීන් සිය ලිපියේම සඳහන් කර තිබුණේ තමන් යළි ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා සැලසුම් සාදා අවසන් බවය. එහෙම ජාත්‍යන්තර මාධ්‍යම පවසන කල, අනුර කුමාර කැනඩාවේදී උඩ පනින්නේ, මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් 3%ක් පමණක් යළි මෙරටට පැමිණෙන බවය. ඔය ඔල්මොරොන්දම් ගණන් හැදීම වෙනුවට නියම ගාණ, පෙරේදා සංචාරක ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරය කරන සුදු ජාතිකයින්ගෙන් 33 %ක් යළි මෙරට සංචාරය සඳහා පැමිණෙන බව සංඛ්‍යාලේඛන හෙළි කරන්නේය. මෙරට සංචාරය කළ බ්‍රිතාන්‍ය, ජර්මන් හා ප්‍රංශ ජාතිකයින් යළි මෙරට සංචාරය සඳහා කිහිප වතාවක්ම පැමිණෙන බව පර්යේෂණ මඟින් තහවුරුව තිබෙන බවත් ඔවුන් නැවත නැවත ගෙන්වා ගැනීමට නම් අලුත් ගමනාන්ත හඳුන්වා දිය යුතුව තිබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම වසරේ මාර්තු 31 වැනිදා වනවිට සංචාරකයින් 628000ක් මෙරටට පැමිණ තිබෙන බවත් මේ අනුව ඉතිහාසයේ වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් ඇමැති හරින් එහිදී ප්‍රකාශ කළේය.

බලය සඳහා ඉව අල්ලන්නේ ඔය වැනි බයිලා දෙසා බාමින්, රට පහළට හෙළමින් නම්, මේ රටේ ජනී ජනයා ඔය පිරිසගේ අනික් කතා ද කෙබඳුදැයි දැන ගත යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT