දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් හතක විභාග කටයුතු අවසන් කිරීමට ඊයේ (02) තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති ධුරයට ඒ මහතා පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 09ක් කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 19 වැනිදා කැඳවීමට නියම කළේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කරද්දී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මෑතකදී විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශ කරන ලද නඩු තීන්දුවට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක නඩු ගොනුව සේප්පුවේ රඳවා තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට නියම කෙරිණ.
එසේම අධිකරණය විසින් නියම කරන අවස්ථාවක එම නඩු ගොනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කරන ලදි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලද අවස්ථාවේදී මෙම නියමයන් කරන ලදි.
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවට පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී කරුණු ඉදිරිපත් කළහ.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය.
එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පවත්වාගෙන යාමට ඇති නීතිමය නොහැකියාව ඇතුළුව පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවය.
එසේම පෙත්සම් විභාගයේදී අධිකරණ විසින් ඉල්ලා සිටින ඕනෑම ලියකියවිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මහතා පෙන්වා දුන්නේ මෙම පෙත්සම්වලට අදාළ වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනු කළ විරෝධතා ඊයේ උදෑසන තමන්ට ලැබුණු බවය.
පෙත්සම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පෙර එම විරෝධතාවල ඇති කරුණු අධ්‍යයනය කිරීමට තමන්ට අවශ්‍ය බවද ඒ මහතා අධිකරණයට දන්වා සිටියේය.
එබැවින් ඒ සඳහා කල් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී පෙත්සම්කරුවන් කීපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම පෙත්සම් මීට පෙර කැඳවූ අවස්ථාවේ දී ව්‍යවස්ථාදායක සභාවේ කාර්ය සටහන් ඉදිරිපත් කරන බවට වගඋත්තර කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් එකඟතාවය පළ කර ඇති බවය.
ඒ අනුව අදාළ කාර්ය සටහන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙත්සම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඔවුහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
එහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අධිකරණය හමුවේ ලැයිස්තුගත කර ඇති පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් වන නොතිසි තමන් ට ලැබී නොමැති බවය.
ඒ පිළිබඳව අවධානය යොමු කළ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම් සම්බන්ධයෙන් අදාළ නොතිසි වගඋත්තර කරුවන් වෙත සතියක් ඇතුළත ලබාදීමට කටයුතු කරන ලෙස එම පෙත්සම්කරුවන්ට නියෝග කළේය.
එහිදී තවදුරටත් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ මෙම පෙත්සම් බහුතරයක කරුණු ඉදිරිපත් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් සේවා දායකයා සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශ කරන ලද නඩු තීන්දුවක් පදනම් කරගෙන බවය.
ඒ සම්බන්ධයෙන් තමන් බරපතළ ලෙස කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව අදාළ නඩු තීන්දුවට අදාළ නඩු ගොනුව සේප්පුවේ රඳවා තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ නඩු ගොනුව සේප්පුවේ තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වයාට නියම කළේය.
පෙත්සම් සම්බන්ධයෙන් වන සීමිත විරෝධතා මැයි මස හත්වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස වගඋත්තර කරුවන්ට නියම කළ අතර, ඊට එරෙහි ප්රතිවිරෝධතා මැයි මස විසි දෙවැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස පෙත්සම් කාර පාර්ශ්වයට නියම කළේය.
මෙම පෙත්සම් විභාගයට ගන්නවාද යන්න තීරණය කිරීම සඳහා කරුණු තහවුරු කිරීමට ජුනි මස 19 වැනිදා කැඳවීමට නියම කළේය.
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා මේ වන විට අකමැත්ත පළ කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකරුවන් වන එස්. රාජා, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නොවන විනිසුරු මඬුල්ලක ඒවා කැඳවන ලෙස තවදුරටත් නියම කෙරිණ.
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහිව අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කිහිප දෙනෙකු, නීතිඥයින් ඇතුළු පිරිසක් විසින් පෙත්සම් හතක් ගොනු කර තබිණි.
ඔහු පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, නිරෝෂන් පාදුක්ක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 09ක් ගොනු කර තිබිණි.
නීතිපතිවරයා, කථානායකවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේදී එවකට බස්නාහිර පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබා දුන් බවට පෙත්සම්වල සඳහන් වේ.
එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව වැදගත් තොරතුරු ලැබී තිබියදීත් ඔහු සිය රාජකාරි ඉටු නොකළ බවට කොමිෂන් සභා වාර්තාවේ 20 වෙනි වෙළුමේ පැහැදිලිව සඳහන් කර ඇති බවට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිය පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.
එමගින් එම අවස්ථාවේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් මහතා සිය රාජකාරි පැහැර හැර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
එසේම ගාලුමුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ද දේශබන්දු තෙන්නකොන් මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු සමයේ බව මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.
රටේ නීතිය ක්‍රියාත්මක කරන රටේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මෙන්ම එහි වගකීම ලබාදිය යුත්තේ, මානුෂිය ගුණාංගවලින් හෙබි අයෙකුට බව සඳහන් වේ.
ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයකුට එහි වගකීම් පැවරීම මඟින් සිය මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.
එබැවින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබුණු ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති බව ද පෙත්සම් මඟින් පෙන්වා දී තිබේ.
පාස්කු ප්‍රහාරය සිදු වන විට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරිය පැහැර හැර ඇති බැවින් පොලිස්පති ධුරයට ඔහු පත් කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවට තීරණය කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත.
නෙල්කා මැදගෙදර