සීගිරි පව්ව මත සිට ඉර සේවය නැරඹීම සඳහා අභය භූමිය තුළ පයින් ගමන් කරමින් සිටි කැනේඩියානු ජාතික අඹුසැමි යුවළක් ඊයේ (02) අලුයම වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති අතර එයින් කාන්තාව බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
වන අලියා පහර දෙනවිට එම විදේශිකයන්ගේ කෑගැසිල්ල ඇසී සංචාරක මඟපෙන්වන්නකු වහාම එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වන විටත් වන අලියා විසින් විදේශීය කාන්තාවට පහර දෙමින් සිට තිබේ. පසුව දැඩි පරිශ්‍රමයක් යොදා ඇයව බේරාගෙන තිබේ.
සීගිරිය පොලිසිය පවසන්නේ සංචාරක මඟපෙන්වන්නා මෙම යුවළ යතුරුපැදියකින් රෝහලට ක්ෂණිකව රැගෙන ගොස් ඇති බවයි.
තමන්ට සංචාරක කතගේ ජීවිතය බේරාගැනීමට හැකිවීම පිළිබඳව දැඩි ලෙස සතුටට පත්වන බව සංචාරක මඟපෙන්වන්නා හැඬූ කඳුළින් සඳහන් කළේය.
ඔවුන් දෙදෙනාම සීගිරිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයට මීටර් සියයකට පමණ දුරකින් පා ගමනින් එන අතරතුරදී මෙම වන අලි පහරදීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ වන අලි පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇත්තේ කැනේඩියානු ජාතික legnavska katarina (36) මහත්මියයි. ඇයගේ සැමියාට මෙම වන අලි පහරදීමෙන් කිසිඳු හානියක් සිදුව නැති බව පොලිසිය කියයි.
නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ වන අලි ගැවසීම සිදු වන නිසාවෙන් ආරක්ෂාව පිළිබඳවත්, මේ සිද්ධිය සම්බන්ධයෙනුත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතියේ කළමනාකරු ගාමිණී කරුණාරත්න මහතාගෙන් අප කළ විමසීමකදී මෙලෙස අදහස් දැක්වීය.
“වනජීවී දෙපාර්තමේන්තුව සහ හෝටල්, සංගම් ඇතුළු සියලු දෙනාටම මේ සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුම්වත් කිරීම් කර තිබෙනවා. එක මාර්ගයකින් පැමිණීමට උපදෙස් දී තිබුණත් සංචාරකයන් විවිධ මාර්ග ඔස්සේ පැමිණෙමින් ඉර සේවය නරඹනවා.”
සිද්ධියට මුහුණ දුන් යුවළ නැවතී සිටි හෝටල් හිමිකරු වන පී. ජී. ජයරත්න මහතා ද මෙලෙස අදහස් දැක්වීය.
“අලුයම් කාලයේදී මේ යුවළ සීගිරියේ ඉර සේවය නැරඹීමට හෝටලයෙන් පිටත්ව ගියා. මෙහි පැමිණෙන සෑම විදේශීය සංචාරකයකුම මේ වන අලි ගැටලුව සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙනවා.”
සංචාරක ව්‍යාපාරයේ නිරත සීගිරියේ ප්‍රියරංජන කුමාර මහතා ද මේ පිළිබඳව මෙලෙස කියා සිටියේය.
“මධ්‍යම සංස්කෘතික අරමුදල මීට වඩා වගකීමෙන් මේ සිද්ධිවලට මුහුණදිය යුතුයි. විදේශිකයන්ට සිංහල භාෂාව බෑ. එනිසා ඒ අයට තේරෙන භාෂාවකින් මේ වන අලි ගැටලුව පිළිබඳව දැනුම්වත් කිරීම ඔවුන්ගේ වගකීමක්.
මෙවැනි සිද්ධි ලෝකය පුරා ප්‍රචාරය වීම අපේ සංචාරක කර්මාන්තයට බරපතළ පහරක්. මේ සිද්ධිය දැනගත් මොහොතේ සිටම මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව දඹුල්ල රෝහලට පැමිණ මේ සංචාරකයන්ගේ පහසුකම් සැපයීම සිදු කරනවා.”
මෙම අවාසනාවන්ත සිද්ධිය ඇසින් දුටු සීගිරිය සංචාරක මඟපෙන්වන්නන්ගේ සංගමයේ සාමාජිකයකු වන මිහිඳු චන්දන හේරත් මහතා දැඩි වේදනාවකින් සිද්ධිය මෙලෙස පැහැදිලි කළේය.
“මම උදෑසන ගෙදර ඉඳලා රස්සාවට යතුරුපැදියෙන් එද්දී අලියා දැක්කා. පස්සෙ මම එතැනට ගියා. මම ඇවිත් විනාඩි කීපයයි ගියේ. එකපාරම විදේශීය සංචාරකයකු මහ හයියෙන් කෑගහන සද්දයක් ඇහුණා. මම අනිවාර්යයෙන්ම හිතුවා අලියගෙන් කරදරයක් වෙලා ඇති කියලා. ඒත් එක්කම මම යතුරුපැදිය අරන් එතැනට යන කොටත් අලියා ඒ කාන්තාවට හොඬවැලෙනුයි පයිනුයි පහර දෙමින් ඉන්නවා දැක්කා.
මම යතුරුපැදියේ නළාව හයියෙන් සද්ද කළා අලියා එළවන්න. ඒත් එක්කම අලියා ඒ කාන්තාව ගහක් ළඟ දාලා ගියා.
පස්සෙ මම ඒ කාන්තාවයි එයාගෙ මහත්තයයි යතුරුපැදියේ නංවාගෙන ජීවිතය බේරාගන්න සීගිරිය ඉස්පිරිතාලෙට අරන් ගිහින් භාර දුන්නා. මම තව කෙනකුගේ ජීවිතයක් බේරාගැනීමට ඉදිරිපත්වීම ගැන සතුටු වෙනවා. මම සංචාරක මඟපෙන්වන්නකු නිසා සංචාරකයන්ට දක්වන්නේ දැඩි ඇල්මක්. සංචාරකයන් නිසා තමා මගේ දරු පවුල ජීවත් වෙන්නේ.”
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය සංචාරක පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කරන අතර සීගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ ස්ථාන පරික්ෂාවක් ද සිදු කළහ.
දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන විදේශීය කාන්තාවගේ තත්ත්වය බරපතළ බව රෝහල් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අප සමඟ සඳහන් කළේය.
සීගිරිය විශේෂ