Home » ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවන්න කථානායක ඇතුළු සභාගැබේ නිලධාරීන්ට පැළ බෙදයි

ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවන්න කථානායක ඇතුළු සභාගැබේ නිලධාරීන්ට පැළ බෙදයි

by sachintha
April 3, 2024 1:52 am 0 comment

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන්ට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (02) පලතුරු පැළ බෙදාදෙන ලදි.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර, නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න, වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහත්ම මහත්මීන්ට ද මෙම අවස්ථාවේදී ඇමැතිවරයා විසින් පලතුරු පැළ බෙදා දෙනු ලැබීය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව ක්‍රියාත්මක කරන මේ ජාතික රුක්රෝපණ වැඩසටහන “නැකතට පැළයක් – ජාතියට හුස්ම දෙන නැකත” යන තේමාව යටතේ මෙවරත් රට පුරා පැළ රෝපණය කිරීමේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

නැකතට පැළයක් ජාතික රුක්රෝපණ වැඩසටහන පිළිබඳව මෙහිදී අදහස් දක්වමින් ඇමැති මහින්ද අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ මෙවර ජාතික පැළ සිටුවීමේ නැකතේ දී ඵල දරන කුමන හෝ පැළයක් සිටුවන ලෙසයි. එමෙන්ම ගෙවතු වගා වැඩසටහනක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් එම ගෙවතු වගා වැඩසටහන යටතේ එළවළු හා පලතුරු පැළ මෙන්ම බීජ ද ලබාදීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් ඇමැතිවරයා කීය. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු ලක්ෂයක් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද ක්‍රියාත්මක කිරීමට යෝජිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT