ආගමික සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක් නියමව සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා ඊයේ (02) ප්‍රතික්ෂේප කළේය. ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ ඇප ඉල්ලීම මඟින් සුවිශේෂී කරුණු කිසිවක් ප්‍රකාශ නොවන බව දන්වා සිටියේය. නඩුව ඊයේ (02) කැඳවූ අවස්ථාවේ නඩු විභාගය දැක බලා ගැනීමට මහාචාර්ය අගලකඩ සිරිසුමන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, අක්මීමන දයාරතන, වතුරුකුඹුරේ ධම්මරතන, උලපනේ සුමංගල, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරු ඇතුළු භික්ෂූන් වහන්සේලා 80කට ආසන්න පිරිසක් අධිකරණ සංකීර්ණයට වැඩම කර සිටියහ.
ගලබොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීමකට අනුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියේය.
ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ කරුණු දැක්වීමට වෙනත් දිනයක් ඉල්ලා සිටීම අධිකරණ සම්ප්‍රදාය වුවත් ඥානසාර හිමිගේ නීතිඥයන් ඇප ඉල්ලීම සමඟම එකවිට කරුණු දැක්වීම සිදු කළ අතර රජයේ අධිනීතිඥවරයා එයට විරුද්ධ නොවන බව දන්වා සිටියේය. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ආරම්භ කරමින් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට මහාධිකරණය පනවා ඇති සිරදඬුවම සම්බන්ධයෙන් අභියචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවත් එයට යටත්ව මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කළ බවත් කියා සිටියේය. 1997 අංක 30 දරන ඇප පනතේ 20 (2) වැනි වගන්තිය අනුව මහාධිකරණය විසින් වරදකරු කිරීමකට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබූ විට එම තීරණය ලැබෙන තෙක් ඇප ලබා දිය හැකි බවට මූලිකව කරුණු දක්වන ලදී.
එයට අතිරේකව චුදිතට මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක් නියම කර ඇති තත්ත්වයක් තුළ හා බන්ධනාගාර ආඥා පනතට අනුව එම සිරදඬුවම් ගණනය කරන විට එය වසර දෙකකින් පමණ අඩුවන බවත් විත්තියේ නීතිඥයා කීය. නීතිපති එදිරිව ලෙච්චමි නඩු තීන්දුව අනුව විත්තිකරුට වසර 3ක් වැනි අවම සිරදඬුවමක් පනවා ඇති අවස්ථාවක අභියාචන ප්‍රමාද නිසා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවේ නම් ඇප දිය හැකි බවට ප්‍රකාශ කර ඇති බව විත්තියේ නීතිඥයා ගෙනහැර දක්වන ලදී.
වර්තමානය වන විට අභියාචනාධිකරණයේ පුරප්පාඩු රැසක් පවතින බැවින් හා සෑහෙන නඩු සංඛ්‍යාවක් දැනටමත් පොරොත්තු ලේඛනයේ පවතින බැවින් එම නඩු විභාග කිරීමට වසර 6 – 7ක් පමණ කාලයක් ගතවන බව ප්‍රකාශ කළ විත්තියේ නීතිඥයා චුදිත ඉදිරිපත් කළ අභියාචනය විභාග වන විට ඔහුට නියම කළ දඬුවමට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදු වන බව ඇප ඉල්ලීම සලකා බැලීමට සුවිශේෂ කරුණක් ලෙස ඉදිරිපත් කරන ලදී. එයට අමතරව තවත් සුවිශේෂ කරුණක් ලෙස විත්තිකරුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කළ අතර චුදිත බන්ධනාගාරගතව සිටින කාල වකවානුවේදී රටේ පවතින තත්ත්වය අනුව ගුණත්වයෙන් ඉහළ ඖෂධ ලැබිය නොහැකි බවට කරුණු දැක්වීම සිදුවිය. එම කරුණු කිසිවක් සුවිශේෂ කරුණු ලෙස පිළිගත නොහැකි බව ප්‍රකාශ කළ රජයේ අධිනීතිඥ චතුරංග බණ්ඩාර මහතා ඇප ඉල්ලීමට එරෙහිව කරුණු දැක්වීය.
රජයේ අධිනීතිඥවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ විත්තිය ඉදිරිපත් කරන කරුණු දැක්වීම සැකකරුවකු සම්බන්ධයෙන් අදාළ වුවත් චුදිත තැනැත්තා දැනටමත් මහාධිකරණය විසින් වරදකරුවකු කර ඇති තැනැත්තකු බැවින් එවැන්නකුට ඇප දිය හැක්කේ සුවිශේෂ කරුණු යටතේ පමණක් බව ප්‍රකාශ කරන ලදී.
චූදිත අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ප්‍රකාශ කළ ද පිළිගත හැකි කිසිම සාක්ෂියක් ඉදිරිපත් නොවූ බැවින් එය සුවිශේෂ කරුණක් හැටියට දැක්විය නොහැකි බව ප්‍රකාශ කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වීමට ගතවන කාලය සුවිශේෂී කරුණක් ලෙස දැක්විය නොහැකි බවත් නඩු ප්‍රමාදය යන්න සාපේක්ෂ කාරණයක් බවත් ප්‍රකාශ කර ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මහාධිකරණය විසින් ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම සිකුරාදාට පෙර අභියාචනාධිකරණයට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන බවය.
ලබන 08 දා අධිකරණ නිවාඩු කාලය ආරම්භ වීමට නියමිතය.
චන්දන ජයවීර