Wednesday, March 26, 2025
Home » දමිතා-සැමියා ඉල්ලූ අතුරු තහනම ඉවත දමයි

දමිතා-සැමියා ඉල්ලූ අතුරු තහනම ඉවත දමයි

by sachintha
April 3, 2024 1:21 am 0 comment

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (02) ප්‍රතික්ෂේප කළේය.

ආගමන හා විගමන පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් එය වළක්වන ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් ඔවුන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම ප්‍රතිකේෂ කිරීම සිදු විය.

කෙසේ වුවද අදාළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේ අධිකරණයේ සිටි රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නේ

මෙම පෙත්සම් මගින් නීතිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කර නැති බවය.

රජයේ ප්‍රධාන නීති නිලධාරියා වූ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් නොකිරීම බරපතළ තත්ත්වයක් බව ඇය සඳහන් කළේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට අවසර ලබා දුන්නේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා සඳහන් කළේ දණ්ඩ නිති සංග්‍රහය යටතේ පොලීසිය විසින් කොටුව අධිකරණය හමුවේ පෙත්සම්කරුවන්ට එරෙහිව කරුණු දක්වා ඇති බව ය.

ඉන් අනතුරුව ඔවුන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බවද ඒ මහතා කීය.

එමගින් තම පෙත්සම්කරුවන්ට දැඩි අගතියක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් ඇය ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව පෙත්සම යළි මැයි මස 16 වැනිදා කැඳවීමට ද නියම විය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT