අරගලය සමයේදී පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල පවා විනාශ කරන්නට යම් උත්සාහයක් තිබූ බවත් ඒ සියල්ල සිදූ වූයේ විදෙස් බලපෑම් මතම බව පැවසීමට තරම් තොරතුරු මා සතුව නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප්‍රකාශ කළේය.
අරගලයේදී ජනතා ස්වෛරීත්වයට බලපෑම් කළේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විසින්ම බවත් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විනාශ කරන්නට දැරූ උත්සාහයන් ව්‍යර්ථ කළේ දැඩි අසීරුවෙන් බවත් කථානායකවරයා සිහිපත් කළේය.
අරගලය ඇති වූ අවස්ථාවේදී ඇතිවූ සිදුවීම් නැවත ඇතිවීමට කිසිඳු ආකාරයකින් ඉඩ නොතැබිය යුතු අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ල කරමින් කටයුතු කළ අතර එය ස්වෛරීත්වයට එරෙහිව සිදුකළ බරපතල හානියක් බව ද කථානායකවරයා පැවසීය.
එම සිදුවීම් විමල් වීරවංශ මහතා සඳහන් කළ පරිදි විදෙස් බලපෑම්වලින්ම සිදුවූවා යැයි ප්‍රකාශ කිරීමට තොරතුරු නොමැති බව ද කථානායකරවරයා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමිනි. තවදුරටත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේ ද පැවසීය.
එදින ජනතා ස්වෛරීත්වයට බලපෑම් කළේ අපේ රටේම ලක්ෂ සංඛාත ජනතාවයි. මේ ගොඩනැඟිල්ලටත් තර්ජනය එල්ල වුණා. මේ ගොඩනැගිල්ල විනාශ කරන්න කටයුතු කරන්න ගිය විට අපි ඒක බොහොම අමාරුවෙන් වළක්වා ගත්තා. ඔබ කියන විදේශ බලපෑම්වලින්ම ඒක සිද්ධ වුණා කියලා මට තොරතුරු නෑ.