Sunday, May 11, 2025
Home » මා ජනාධිපති ධුරයට තේරීපත්වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කඩිනම් විමර්ශන ආරම්භ කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මා ජනාධිපති ධුරයට තේරීපත්වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කඩිනම් විමර්ශන ආරම්භ කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
April 3, 2024 1:45 am 0 comment

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරයට මා තේරීපත්වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප්‍රකාශ කෙළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා තමන් සිදු කළ ප්‍රශ්නයට ආණ්ඩුව මෙතෙක් පිළිතුරක් ලබා නොදුන් බව සඳහන් කරමින් සිදු කළ අදහස් දැක්වීමේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

බලයට පත්වී මාස දෙකක් ඇතුළත 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය හා විදේශීය සාමාජිකයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් පත් කරනවා.

එම කොමිෂන් සභාව තුළින් අතීත හා වර්තමාන සාමයට අයත් සමස්ත ආරක්ෂක වැඩපිළිවෙළ අධ්‍යයනය කිරිමක් තුළ එයට සීමා නොවූ වගකීමක් ඉටු කරමින් ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් කිසිදු තහංචියකින් තොරව ප්‍රකාශන ලබා ගැනීමේ බලය ලබාදෙනවා.

කොමිෂන් සභාව ස්ථාපිත කර සති 6ක් ඇතුළත ඒ හා සමානව එක්ව කටයුතු කිරීමට ස්කොට්ලන්ඩ්යාර්ඩ්, එෆ්. බී. අයි. ඇතුළු විදේශ ඔත්තු හා ආරක්ෂක සේවා මෙන්ම දේශීය බුද්ධි අංශ හා ආරක්ෂක අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවනවා. එමෙන්ම කොමිෂන් සභාවේ නිර්දේශ හා නියෝගවලට යටත්ව ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව නීතිපතිවරයා අධිචෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කරනවා. ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7 (2) හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරනවා. වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට ස්ථිර මහාධිකරණයක් පිහිටුවනවා.

ඒ සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරීමට පියවර ගන්නවා. නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT