තේ කර්මාන්තයට අවශ්‍ය පොහොර ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) පැවසීය.
තේ සහනාධාරය ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවට පැවසුවත් එය බිම් මට්ටමේ යථාර්ථයක් වී නොමැති බව පවසමින් තේ කර්මාන්තය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසීය.
වසර 2022 කට සාපේක්ෂව 2023 වසරේදී තේ නිෂ්පාදනය ඉහළ ගියා. 2022 වසරේ දී අමු තේ දලු නිෂ්පාදනය කිලෝ මිලියන 1190 යි. 2023 වසරේදී නිෂ්පාදිත නිමි තේ ප්‍රමාණය කිලෝ මිලියන 256 යි. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ තේ නිෂ්පාදනය සියයට 2ක වැඩිවීමක් තිබෙනවා. පොහොර ලබා දීමට ගත් තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස වැඩි වීම සිදුව තිබෙනවා. එය ප්‍රමාණවත් නැහැ. තේ නිෂ්පාදනය සඳහා තේ අරමුදලෙන් වෙන් කළ මිලියන 40ක් තේ පර්යේෂණ හා සංවර්ධනය සඳහා ද විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවලට මිලියන 14ක් ද, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශේෂ සංවර්ධන වැඩසටහන් කුඩා තේ වතු හිමියන්ට පොහොර සහනාධාරයට මිලියන 1200ක් ද වෙන් කර තිබෙනවා. යූ 709 පොහොර මිටියක් රුපියල් 14,000ක් පමණ වුණා. එය දැන් 11,000ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. වැවිලි හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව මේ වැඩසටහන් ක්‍රියාවට නංවනවා. තේ ගොවියාට අවශ්‍ය පොහොර ලබාදීම සිදු කරනවා. පොහොර මිල තිබූ මිලට වඩා බාගයක් පමණ අඩු කර තිබෙනවා. කුඩා තේ වතු හිමියන්ට සහන මිලට පොහොර ලබාදීම දැනටමත් ක්‍රියාත්මකයි. ලෝකයේ පළමු තේ සපයන්නා අපි වුණත් දැන් ඒ තත්ත්වය හතරවැනි පස්වැනි තැනට වැටී තිබෙනවා.