Saturday, May 10, 2025
Home » යාචක වෙසින් ඇවිත් රෙදි අලෙවිසලකින් ලක්ෂ 15කට ආසන්න රෙදි සොරාගෙන

යාචක වෙසින් ඇවිත් රෙදි අලෙවිසලකින් ලක්ෂ 15කට ආසන්න රෙදි සොරාගෙන

by sachintha
April 3, 2024 1:34 am 0 comment

කකුලක් නැති යාචකයාට කෘත්‍රිම කකුලක් දෙන්නත් ප්‍රදේශවාසීන් සූදානමින් ඉඳලා

 

යාචකයකුගේ වෙස්ගෙන පැමිණ පල්ලම, මදවක්කුලම ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසලක අලෙවියට තබා තිබූ රෙදි තොගයකින් රුපියල් ලක්ෂ 15කට ආසන්න නිමි ඇඳුම් තොගයක් සොරාගත් සැකකරුවෙක් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලම පොලිසිය පෙරේදා (01) පැවසීය.

මෙසේ සොරාගෙන ඇත්තේ මදවක්කුලම නගරයේ රෙදිපිළි අලෙවිසලක් පවත්වාගෙන ගිය අයි.එල්. ඉබ්‍රාහිම් ලෙබ්බේ නමැති 55 හැවිරිදි අයකුට අයත් රෙදිපිළි තොගයකි. මදවක්කුලම නගරයට සතියකට පෙර යාචකයකු ලෙස පාදයක ආබාධයක් ඇති බව පවසමින් ඉතාමත් අසරණව යාචක වෙසින් පැමිණ සිටි වයස අවුරුදු 60කට ආසන්න සැකකරුවකු මෙම සොරකම සිදු කර ඇති බවට මේ වන විට පල්ලම පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ. සැකකරු අදාළ රෙදිපිළි අලෙවිසලේ පිටුපස දොර අගුළු කඩා ලක්ෂ 15කට ආසන්න රෙදි තොගය පොහොර උරවල අසුරාගෙන පලා යන දර්ශන අසල තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බවත්, ඒ නිසාම මොහු මෙම සොරකම සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවත් පොලිසිය කීය.

පාදයක් කැඩී ඇති බවත්, පාදයක් දැමීමට උවමනා බවත් පවසමින් මදවක්කුලම නගරය පුරා කොර ගසමින් ඇවිදීම නිසා බෝහෝදෙනකු මෙම මුස්ලිම් ජාතික යාචකයාට අනුකම්පා කර පාදයක් පවා ලබාදීමට සූදානම් කර තිබූ බවද අනාවරණය විය.

අදාළ ව්‍යාපාරිකයා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් අතමාරුවට ඉල්ලා ගනිමින් මෙවර රාමසාන් හා සිංහල දමිළ අලුත් අවුරුදු වෙනුවෙන් රෙදිපිළි අලෙවිසල විවෘත කර ඇතැයි ද අනාවරණය විය. කෙසේවෙතත් යාචක වෙසින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT