නුගවෙල මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ආරම්භ කරන ලද සම්භාණ්ඩ කර්මාන්තශාලාව පෙරේදා (01) විවෘත කෙරිණි.
දිවයිනේ පාසල් පද්ධතිය තුළ මෙවැනි සම්භාණ්ඩ කර්මාන්තශාලාවක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වන අතර, පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් නව මානයකට යොමු කිරීමේ අරමුණ ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව පසුගිය වසරේ ජුනි මාසයේ පාසල් පද්ධතිය තුළ ආරම්භ කළ ව්‍යවසායකත්ව කව ජාතික වැඩසටහනට අනුව මෙම කර්මාන්තශාලාව ආරම්භ කර තිබේ. මෙම සම්භාණ්ඩ කර්මාන්තශාලාවේ සේවය කරන දරු දැරියන් 18දෙනකුට සම්භාණ්ඩ නිපදවීම සම්බන්ධව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් පුහුණුවක්ද ලබා දී ඇත.
නුගවෙල මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරිය වන ආර්.බී.ඩබ්.ඒ.එම්.එච්. රාජගුරු මහත්මියගේ ආරාධනයෙන් පැමිණි, විදුහලේ හිටපු ආදි සිසුවකු වන රජරට විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා විසින් ආරාධිත දේශනය පවත්වනු ලැබූ අතර, එහිදී මහාචාර්යවරයා පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් ලබා ගන්නා ඛනිජ ද්‍රව්‍යවලින් කරනු ලබන කාර්යයන් පිළිබඳ හරවත් දේශනයක්ද පවත්වනු ලැබීය.
පාසල් පද්ධතිය තුළට පාසල් සංවර්ධන ව්‍යවසායකත්ව කව ජාතික වැඩසටහන හඳුන්වා දී තිබෙන්නේ පොත පතට පමණක් සීමා වූ දරුවෝ ඉන් ඔබ්බට ගොස් ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කිරීම සහ පාසලින් පිටව යන දරුවා අපනයන කේන්ද්‍රීය ආර්ථිකයකට යොමු කිරීම යන අරමුණු ඇතිව බව, මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කළ ව්‍යවසායකත්ව කව භාර ආචාරිනී අචිනි කනිටිවෙල මහත්මිය පැවසුවාය. නුගවෙල මධ්‍ය විද්‍යාලයේ හා තෙල්දෙණිය දුන්හින්ද ද්විතීයික පාසලේ දරු දැරියන්ට නියමු පදක්කම් පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයලත්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ ආචාර්ය රණතුංග, කාර්මික සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පළාත් අධ්යක්ෂ රෝහිත සුමනවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න