කොළඹට තදාසන්න නගරයන්හි අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් සිදුකරමින් සිටින අවස්ථාවකදී තොටළඟ වටරවුම ආසන්නයේ සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී නීති විරෝධී මත්පෙති තොගයක් සන්තකයේ තබාගෙන සිටි බවට අනාවරණය වීමෙන් අනතුරුව එම අවස්ථාවේදීම සැකකරු මත් පෙති තොගයද සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී (බම්පින්) නමැති නීති විරෝධී මත්පෙති 1600ක පමණ ප්‍රමාණයක් තිබූ බවත් මෙම මත් පෙති තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකට පමණ ආසන්න බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් 25 වැනි වියේ පසුවන සැකකාර පුද්ගලයා රහමත් නගර්, පරණ මන්නාරම් පාර, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පුත්තලම ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන අයකු හට ලබාදීම සඳහා මෙම මත් පෙති තොගය රැගෙන කොළඹට පැමිණ ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි. සැකකාර පුද්ගලයා වෘත්තියෙන් ඖෂධ හලක් පවත්වාගෙන යන අයෙක් බවත් ඖෂධ සම්බන්ධයෙන් විශේෂ දැනුමකින් සමන්විත වූ අයෙක් බවත් පොලිස් නිලධාරීන් සිදු කළ වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ ඍජු අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රේමවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක අසංග මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.
සමීර අබේසිංහ නුගේගොඩ සමූහ