බුත්තල කාර්මික ජනපදයේ පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමකට අයත් ඇඟලුම් කම්හල මේ වන විට වසා දමා වසර හතක් පමණ ගත වී ඇති අතර රු. කෝටි ගණනක් වටිනා එහි ගොඩනැඟිලි කැලෑවට යට වී දිරාපත් වෙමින් පවතී.
1992 වසරේ බුත්තලදී පැවති ගම් උදාවට සමගාමීව බුත්තල කාර්මික ජනපදයේ Tri-Star Apparal පෞද්ගලික සමාගම විසින් මෙම ඇඟලුම් කම්හල ආරම්භ කරන ලදි. ප්‍රදේශයේ තරුණ තරුණියන් 800 දෙනකුට පමණ මෙම ඇඟලුම් කම්හලෙන් රැකියා අවස්ථාවන් ලැබී තිබිණි. මීට වසර 7කට පමණ ඉහතදී ඇඟලුම් කම්හල වසා දැමුණු අතර, සේවක සේවිකාවන්ට රැකියා අවස්ථා ද අහිමි විය. මෙම ඇඟලුම් කම්හල ඇතුළු ඉඩම උගසට තබා විශාල ණය මුදලක් ගෙන ඇති අතර, ලංකා බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් හිමිකාරිත්වය ලබාගෙන තිබේ. ඒ අනුව දැනට සියලු දේපළ ණය මුදලට හිලව්වක් ලෙස ලංකා බැංකුව වෙත පවරාගෙන ඇත.
අවස්ථා කිහිපයකදී ගොඩනැඟිලි සහ ඉඩම වෙන්දේසි කිරීමට පියවර ගෙන ඇතත්, කිසිවකු මෙම දේපළ මිලදී ගැනීමට ඉදිරිපත් වී නැත. බැංකුව මඟින් මසකට රු. ලක්ෂයක් පමණ ගෙවා එම දේපළ ආරක්ෂා කිරීමට පෞද්ගලික ආරක්ෂක සමාගමකට භාර දී තිබේ. මේ වන විට අදාළ ආරක්ෂක සමාගමට රු. ලක්ෂ 60 – 80 අතර මුදලක් ගෙවා ඇති බව දැනගන්නට ලැබේ.
ඇඟලුම් කම්හල් භූමිය සම්පූර්ණයෙන්ම කැලෑවට යට වී ඇති අතර, ගොඩනැඟිල්ල විනාශ වී දිරාපත් වෙමින් පවතියි. මේ පිළිබඳව ලංකා බැංකුවේ මොනරාගල ප්‍රාදේශීය කළමනාකරු එම්.ඒ.එල්.ඒ. අජ්මාල් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ,
මෙම ගොඩනැඟිල්ලේ සියලුම කටයුතු සිදු කෙරෙනුයේ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය මඟින් බවත් තමාට ඒ පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත්ය. මෙම ඇඟලුම් කම්හල යළි ආරම්භ කර තමන්ට අහිමි වූ රැකියා අවස්ථාවන් ලබාදෙන ලෙස ප්‍රදේශයේ තරුණ තරුණියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක