Thursday, May 15, 2025
Home » චන්ද්‍රිකාගේ පෙත්සමට මෛත්‍රීට වාරණයක්

චන්ද්‍රිකාගේ පෙත්සමට මෛත්‍රීට වාරණයක්

ශ්‍රීලනිප සභාපති ධුරය දැරීම වළකයි

by mahesh
April 5, 2024 1:00 am 0 comment

චන්දන ජයවීර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) නිකුත් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා මෙම නියෝගය දුන්නේය.

ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව යම් තැනැත්තකුට එකවිට සභාපති හා අනුශාසක යන ධුර දෙකම දැරිය නොහැකි බව පෙන්වා දෙන පැමිණිලිකාරිය මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එම ධුරවල කටයුතු කරන බව පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ලේඛනගත නීතිඥයන් මාර්ගයෙන් පෙත්සමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ධුරය දැරීම වළක්වන අතුරු ඉන්ජන්ෂන් තහනමක් පනවන ලෙසත් මෙම නඩුව අසා නිම වනතෙක් විත්තිකරු අදාළ තනතුර දැරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

1 වැනි විත්තිකරු 2015 ජනාධිපතිවරණය ජය ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්වූ අතර ඉන්පසු මේ දක්වා ඔහු එම තනතුරේ කටයුතු කරන බව පැමිණිලිකාරිය සිය පෙත්සම මඟින් අධිකරණයට දන්වා සිටියාය.

විත්තිකරු ජනාධිපති ධුරයේ කටයුතු කළ කාලයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අසමත් වීම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ බව පෙන්වා දෙන පැමිණිලිකාරිය එම කරුණ මත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පනවන ලද නඩුවකින් වගඋත්තරකරු වරදකරුවකු කරනු ලැබූ බව දක්වා සිටී.

එයට අතිරේකව වගඋත්තරකරු ජනතා බලයෙන් පත්වූ පාර්ලිමේන්තුවක් මඟින් ආණ්ඩු කිරීම වැළැක්වීමට කටයුතු කළ තැනැත්තකු බව ප්‍රකාශ කරන පෙත්සම්කාරිය එය ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් බව පෙත්සමේ සඳහන් කර ඇත.

මෙම කරුණු මත හා විශේෂිත රැස්වීමක් මඟින් ප්‍රබල ශ්‍රීලනිප සාමාජිකයන් තිදෙනකු ඉවත් කිරීමට කටයුතු කිරීම, විත්තිකරුගේ සභාපතිත්වය යටතේ පක්ෂය කඩා වැටීම, විශ්වාස කළ හැකි පුද්ගලයකු නොවීම, වගකීම් විරහිත තැනැත්තකු වීම යන කරුණු සභාපති ධුරයේ කටයුතු කිරීමට නුසුදුසුකම් ලෙස දක්වා තිබේ.

පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ අමිල දිසානායක සමඟ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය. නඩුව ලබන 18 වැනිදා යළි විභාග වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT