Home » වී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 40ක් මිල දී ගනියි

වී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 40ක් මිල දී ගනියි

by chanaka
April 5, 2024 8:35 am 0 comment

වී අලෙවි මණ්ඩලයට ඊයේ (04) වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගැනීමට හැකි වූ බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරන වී මිල දී ගැනිම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී වී මිල දී ගැනිම් කටයුතු සම්බන්ධව අමාත්‍යවරයා සභාපතිවරයාගෙන් කරුණු විමසනු ලැබිය.

ඒ අනුව මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් වී කිලෝග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගෙන ඇති බවත්, වී මිල දී ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය තරම් මුල්‍ය ප්‍රතිපාදන ඇති බවත් සභාපතිවරයා දැනුම් දුන්නේය.

කෙසේ වුවද අද (05) සිට සිංහල අලුත් අවුරුදු උත්සවය අවසන් වන තෙක් වී මිල දී ගැනිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළ සභාපතිවරයා අලුත් අවුරුදු නිවාඩුව අවසන් වූ වහාම වී මිල දී ගැනීම් යළි අරඹන බව ද සඳහන් කළේය.

මෙම දින කිහිපය තුළ වී මිල දී ගැනිම් අත්හිටුවන්නේ ගොවින් වී අලෙවි කළ පසු ඊට අදාල මුදල් බැංකුව මගින් ගැනීමට යාමේ දී ඇති විය හැකි ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින් ය.

වී අලෙවි මණ්ඩලය විසින් දැනට මිල දී ගෙන ඇති වී වලින් සියයට 90ක් පමණ රතු නාඩු වේ. සම්බා හා කීරි සම්බා සහල් වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් අලෙවි නොකරන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ගොවි භාරකාර අරමුදල විසින් වී මිල දී ගැනිමට රුපියල් මිලියන 100ක මුදලක් ලබා දුන් අතර එම මුදල වහාම ගොවි භාරකාර අරමුදලට නැවත ගෙවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සභාපතිවරයාට උපදෙස් දුන්නේය. රජය විසින් මේ වනවිට රුපියල් මිලියන 500ක මුදලක් වී මිල දී ගැනිම සඳහා ලබා දී තිබේ. එම මුදල් වැය කර වී මිල දී ගැනිම් කටයුතු සිදු කරන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT