නව තාක්ෂණ හා ආයෝජන සම්බන්ධයෙන් කොරියාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු මහජන සමුහාණ්ඩුවේ, ජියොන්ග්සන්ග්බක්-ඩු (Gyeongsangbuk-du) ප්‍රාන්ත ආණ්ඩුකාර ලී චෙයොල් වූ මහතා (Lee CHeol Woo) අතර ජියොන්ග්සන්ග්බක්-ඩූ ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (04) පැවැති හමුවේ දී අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කෘෂිකාර්මික, ධීවර, කාන්තා හා ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ප්‍රතිලාභ රැසක් ලබාදීමට මෙහිදී එකඟ වූ අතර තවත් ව්‍යාපෘති රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.
පාසල් සඳහා සුහුරු පන්ති කාමර, උසස් අධ්‍යාපනය නොලබා පාසල් හැරයන්නන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතන සඳහා තොරතුරු තාක්ෂණ උපකරණ, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම, ශිෂ්‍යත්ව අවස්ථා වැඩිකර රට තුළ නේවාසික වීමේ ඉඩකඩ ලබා දීම, සෞඛ්‍ය, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම, ධීවර ක්ෂේත්‍රයට නව තාක්ෂණය, පසු අස්වනු හානි වැළකීමේ උපදේශන, කාන්තා සවිබල ගැන්වීමේ කටයුතුවලට සෘජු හා වක්‍ර ප්‍රතිපාදන, කොරියාවේ අස්වනු නෙළන සමයට පමණක් කෙටි කාලීනව රැකියා අවස්ථා ලබාදීමේ හැකියාව ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මේ පළාතේ ඇති වූ නව ආර්ථික වර්ධනයේ ඉතා සාර්ථකත්වය නැරඹීමට අපට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ආණ්ඩුකාරවරයාට ස්තූතිවන්ත වෙනවා. ආණ්ඩුකාරවරයාගේ ආශිර්වාදය මත පදනම් වූ මේ වැදගත් ස්වේච්ඡා සංවිධානය වෙනත් රටවලට ලබා දී ඇති සහයෝගීතාවය යටතේ ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් සබරගමුව පළාතේ කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල සහ ශ්‍රී ලංකාවේ දියුණු වන ප්‍රදේශ රැසකට සෙත සැලසී තිබෙනවා.
අධ්‍යාපනය නංවාලීම, ග්‍රාමීය ජනතාවගේ සුබසාධනය සඳහා ඉතා සමීප සබඳතාවක් ඇති කරගත් සයිමෝල් පදනම, හා ආණ්ඩුකාරවරයා තමා ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට අත්සන් කළ අතර දැන් එය ක්‍රියාත්මක කිරීමේ අදියරේ පවතිනවා. ඒ සඳහා අපි නැවත වරක් මෙම විශේෂිත ක්ෂේත්‍රවල මූලිකත්වය ගැනීම පිළිබඳව ඔබට සහ සයිමෝල් පදනමට ස්තූති කිරීමට කැමතියි. එය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උණුසුම් සුබ පැතුම් මා ඔබ වෙත ප්‍රකාශ කරනවා. අද බොහෝ ක්ෂේත්‍රවලට අදාළ වන නව තාක්‍ෂණය, නව ආයෝජන සම්බන්ධයෙන් කොරියාව සමඟ සමීපව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම සහයෝගීතාව ශක්තිමත් කර ඉදිරියට ගෙන යා හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඔබේ පළාතේ සංචාරය කරනවා. එබැවින් එය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සංචාරයක් සහ අවස්ථාවක්.
ජියොන්ග්සන්ග්බක්-ඩු හි ප්‍රමුඛ පෙළේ නිලධාරීන් හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය ඇමැතිවරුන් වන පියල් නිශාන්ත, අනූප පැස්කුවෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, ජගත් කුමාර, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ද සොයිසා, අගමැති ලේකම් අනුර දිසානායක, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.