Thursday, May 15, 2025
Home » පොලිස්පතිටම උසාවි එන්න නියෝග
පොලිස් ස්ථානාධිපතිවරුන් පහකට පොලිසි ලබා දී නෑ:

පොලිස්පතිටම උසාවි එන්න නියෝග

by mahesh
April 5, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

අරගල සිද්ධියෙන් පසුව ස්ථාන මාරු ලබා දී ඇති පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව වෙනත් පොලිස් ස්ථාන ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ අද (05) පෞද්ගලිකවම පෙනී සිටින ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) නියම කළේය.

මෙම ස්ථාන මාරුවීම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කෙරිණ.

තමන් ස්ථාන මාරු කිරීමට එරෙහිව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගයන් කරන ලදි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත් මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එම මෝසම කැඳවන ලදි.

මැයි 09 අරගල සිද්ධියෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 14ක් මීට පෙර ගොනු කර තිබුණි. ඒ අතර සිටි අට දෙනෙකුට ස්ථානාධිපති ධුර ලබාදීමේ කොන්දේසිය මත එම පෙත්සම් සමථයකට පත් විය.

ඉතිරි පෙත්සම්කරුවන් පස්දෙනා ඊට අකැමැත්ත පළ කළ නමුත් පසුව සමථයකට කැමැත්ත පළ කර ඇත. එහෙත් ජ්‍යෙෂ්ඨත්වය අනුව තමන්ට පොලිස් ස්ථානාධිපති ධුර ලබා දීමට පොලිස්පතිවරයා මෙතෙක් පියවර ගෙන නැති බවට පැමිණිලි කරමින් මෙම මෝසම ඉදිරිපත් කර තිබිණි.

එහිදී පෙත්සම්කරුවන් පස් දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ තම සේවාදායකයන් සමථයකට පසුව කැමති වීම හේතුවෙන් ඔවුන්ට විවිධ හිරිහැරවලට ලක් වීමට සිදු ව ඇති බවය. ඔවුන්ට කිසිම සහනයක් ලබා නොදී හිරිහැර කරන බවද ඒ මහතා කීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරල් විරාජ් දයාරත්න මහතා කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර අදාළ උපදෙස් ලබා ගත යුතු බවය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පෞද්ගලික කරුණු විමසීමට තීරණය කළේය.

දන්කොටුව පොලිසියේ හිටපු ස්ථානාධිපති වසන්ත කුමාර, හෙට්ටිපොළ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති ආර්. එම්. වසන්ත කුමාර, දඹුල්ල හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ.ආර්. පෙරේරා, මීගමුව හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික වත්තේගම සහ වාරියපොළ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති දිනිත් තල්වත්ත යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් පහ ඉදිරිපත් කර තිබුණි. පොලිස්පතිවරයා, විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා, නීතිපති වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

මැයි 09 වැනිදා දේශපාලනඥයන්ගේ නිවාසවලට පහර දීමේ සිද්ධි වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බව පවසමින් තමන් වෙනත් ප්‍රදේශවලට ස්ථාන මාරු කළ බව පෙත්සම්කරුවෝ කියති.

එහෙත් එම සිද්ධිවලට තමන්ගේ ඍජු වගකීමක් නොමැති අතර ඒ ඒ ප්‍රදේශ භාර තවත් වගකිවයුතු පොලිස් නිලධාරීන් සිටින බව පෙත්සම්වල සඳහන් වේ. එබැවින් මෙම ස්ථාන මාරු කිරීම් අසාධාරණ සහ අත්තනෝමතික බවට පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත. එසේම සිය ස්ථානමාරු කිරීම් බල රහිත කරන ලෙස ද එම ස්ථාන මාරුකිරීම් අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT