බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් නිම කළ බවට බොරු වාර්තා ඉදිරිපත් කර කිසිදු සංවර්ධන කටයුත්තක් නොකර රුපියල් පන්කෝටි තිස්හත් ලක්ෂයක මුදලක් වතු යටිතළ පහසුකම් අමාත්‍යාංශයෙන් ගෙවීම් ලෙස ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හැන්නදිගේ ට්‍රේමිල් ප්‍රසාද් නමැති කොන්ත්‍රාත්කරුවාට කොළඹ මහාධිකරණය ඊයේ (04) බරපතළ වැඩ සහිතව වසර 2ක සිරදඬුවමක් හා රුපියල් පන්ලක්ෂ පනස්දාහක දඩයක් නියම කළේය.
චුදිතට එරෙහිව දඬුවම් නියම කිරීමේදී නඩු විභාගය ආරම්භයේදීම වරද පිළිගැනීම, වංචා කරන ලද මුදලින් සැලකිය යුතු මුදලක් මේවනවිට රජයට ආපසු ගෙවා තිබීම යන කරුණ සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා සිරදඬුවම වසර 15ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ අතර හිඟ ගෙවිය යුතු මුදල වන රුපියල් 2,41,19,553ක වටිනාකම වන්දියක් හැටියට රජයට ගෙවන ලෙස නියම කළේය.
හැන්නදිගේ ට්‍රේමිල් ප්‍රසාද් නමැති විත්තිකරු අනුර කුමාර ජයසේකර නමැති ව්‍යාජ නමක් භාවිත කර බොරු හැඳුනුම්පත් අංකයක් යටතේ සුබෝධා එන්ට්‍රපයිසස් නම් ආයතනය ලියාපදිංචි කර එමඟින් මෙම මාර්ග සංවර්ධන කොන්ත්‍රත්තුව ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. එමෙන්ම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ගත් අනෙක් සමාගම වන සධානා එන්ටප්‍රයිසස් ආයතනය පිළිබඳ කිසිවක් නොදන්නා බව විත්තිකරු ප්‍රකාශ කළද එය ලියාපදිංචි කර ඇති නිවසේ හිමිකාරිය චුදිතගේ බිරිය වන මානෙල් වීරතුංග නැමැත්තිය බව පසුව හෙළි විය.
2 වැනි විත්තිකාරිය ඩිමෙන්ෂියාවෙන් පෙළෙන බැවින් ඇයට නඩු විභාගයට පෙනී සිටිය නොහැකි බවට වෛද්‍ය නිගමනය වූ බැවින් ඇය නොමැතිව නඩුව විභාග විය. එම කරුණ මත විනිසුරුවරයා විසින් 2 වැනි විත්තිකාරිය චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදී. රජයේ අධිනීතිඥ චතුරි විජේසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.