Home » 2024 ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ මැ‍ෙයන් පාසල් සිසුන්ට ප්‍රවර්ධන වැඩසටහනක්

2024 ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ මැ‍ෙයන් පාසල් සිසුන්ට ප්‍රවර්ධන වැඩසටහනක්

by mahesh
April 5, 2024 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

2024 ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ යන මැ‍ෙයන් පාසල් සිසුන්ගේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේදී (03) දා පැවැත්වුණි.

මුඛ සෞඛ්‍ය ගැටලු හට ගන්නා ආකාරය සහ මුඛ සෞඛ්‍ය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී පාසල් සිසුන් මවුපියන් ඇතුළු පිරිසක් දැනුම්වත් කෙරිණ.

එහිදී බුලත්, මත් පුවක්, දුම්කොළ සහිත (මාවා) වැනි මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් මුඛ පිළිකා හට ගන්නා ආකාරය සහ නිවැරදිව මුව පිරිසිදු නොකිරීමෙන් මුඛ සෞඛ්‍යයට එල්ලවන තර්ජන පාසල් සිසුන් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පිළිතුරු ලබා දී පාසල් සිසුන්ගේ මුඛ සෞඛ්‍ය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කර දුන්නේය.

ඊට අමතරව මත් පුවක් හා දුම්කොළ භාවිත කිරීමෙන් මුඛ පිළිකා හටගන්නා ආකාරය සහ ඉන් මිදීමෙන් මුඛ සෞඛ්‍ය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා විසින් දේශනයක් ද පැවැත්විය.

ඒ සහා මහරගම ජනාධිපති විද්‍යාලය, මධ්‍ය මහා විද්‍යාලය, බුවනෙකබා විද්‍යාලය හා විද්‍යාකර විද්‍යාලය යන පාසල්වල සිසු සිසුවියන් මවුපියන් හා ආචාර්ය මණ්ඩලය සහභාගි වී සිටි අතර මෙම අවස්ථාවට ඔවුන් ලබා දුන් දායකත්වය අගය කරමින් එම පාසල්වල විදුහල්පතිවරුන්ට ආචාර්ය මණ්ඩලයට හා සිසු සිසුවියන්ට මෙහිදී තිළිණ හා සහතික පත් ප්‍රදානයක් ද සිදු කෙරිණ.

මෙම වැඩසටහන මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ මුඛ රෝග නිවාරණ අංශය සංවිධාන කර තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය අනුග්‍රහය දක්වා තිබුණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මිය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් විපුල වික්‍රමසිංහ, මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය මනෝජ් ජයකොඩි, මුඛ රෝග නිවාරණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා, සෞඛ්‍ය ගුරුවරුන් පාසල් සිසුන් මවුපියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT