කල්වේලා ඇතිවම සූදානම් වීමට කරුණු ඇතුවා සේම කිසිදු සූදානමකට පෙර මුහුණ දීමට සිදුවන කතන්දර නැතුවාද නොවේ. පසුගිය බදාදා දින තායිවානයට සිදු වූයේද එවැන්නකි. හදිසියේ ඇතිවුණු භූ කම්පන තත්ත්වය හේතු කර ගනිමින් එය නම් කරන්නට සිදු වූයේ වසර 25කට පසුව තායිවානයේ ඇති වූ ප්රබලතම භූ කම්පනය ලෙසිනි. බදාදා හිමිදිරිය යනු සියලු දෙනාම පාහේ තම දිනපතා රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් කාලසටහන සකසා ගන්නා හෝරා කිහිපයයි. එහෙත් එදින අටේ පැය යනු තායිවානයේ කාලසටහන ස්වභාවධර්මයා විසින් අවලංගු කර දැමූ හෝරාවයි. කිසිවකුත් නොසිතූ මොහොතක රිච්ටර් මාපකයේ 7.2ක අගයක් පෙන්නුම් කරමින් තායිවානය ලෝක ජනමාධ්‍යයන්හි මූලික පුවතක් බවට පත් විය.
මෙම භූ කම්පනය ඇති වූයේ ඉකුත් බදාදා උදෑසන තායිවානයේ නැඟෙනහිර වෙරළ ආසන්නයේය. මෙම භූ කම්පනයේ බලපෑම චීනයේ සහ ජපානයේ සමහර ප්‍රදේශවලට ද දැනී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. බදාදා දිනයේම ඔවුන් සඳහන් කළ ආකාරයට මේ මොහොත වන විට රැකියාවන් සඳහා යන පිරිස් මෙන්ම පාසල් වෙත යන සිසු සිසුවියන් ද බොහෝ දෙනෙක් මංමාවත්වල රැඳෙමින් සිටියහ. මෙකී භූමිකම්පාව කිලෝමීටර් 15.5ක් පුරා විහිද ගිය බව තම පුවත් අතර සඳහන් කළ රොයිටර් පුවත් සේවය දන්වා සිටියේ මේ හේතුව නිසාවෙන් ජපානයේ දකුණු දිගට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීමක් කරමින් පසුව එය ඉවත් කරන ලද බවයි.
උමං මාර්ගවල සිරවූවන්
එදින සවස් වන විට සඳහන්ව පැවතියේ Hualien නගරය ආසන්න වන්නට උමං මාර්ගවල සිරවී සිටි පුද්ගලයින් 70ක් පමණ ඉවත් කර ගැනීමට ගිනි නිවන බලධාරින් සමත් වූ බවයි. ඒ වන විට සඳහන්ව තිබූ විශේෂිතම පුවත වූයේ වනෝද්‍යානයකට කුඩා බස් රථ හතරක යමින් සිටි කම්කරුවන් 50 දෙනකු සමඟ තිබූ සම්බන්ධතාවන් නැතිව ගිය බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 80 දෙනකු පමණ පතල් කැණීමේ ප්‍රදේශයක සිරව සිටිය බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නොමැති බවයි. මේ ආකාරයට තායිවානය නැඟෙනහිර වෙරළ ආසන්නයේ සිදු වූ භූ කම්පනය වසර 25කට පසු ඇති වූ ප්රබලතම භූකම්පනය ලෙසින් ද සඳහන් කර තිබිණි.
බ්‍රහස්පතින්දා වන විට තොරතුරුවල වෙනස්කම් සිදුව පැවැති අතර මෙම භූකම්පාවෙන් පුද්ගලයින් නව දෙනකු මියගොස් ඇති අතර 1000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. පෙර සඳහන් කර ඇති පරිදි වනෝද්‍යානයට ගමන් කරමින් සිටි කම්කරුවන් 24 දෙනකු පමණ සොයා ගැනීමට හැකිව තිබේ. තායිවානයේ ජාතික ගිනි නිවන ඒජන්සිය සඳහන් කරනුයේ තායිවාන වේලාවෙන් පෙරවරු 8.00ට පමණ ඇති වූ භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 1050ක් හෝ තුවාල ලබන්නට ඇති බවයි. මේ ආකාරයට භූ කම්පනය ඇති වූයේ තායිපේ සිට සැතපුම් 100ක් පමණ දකුණට වන්නට පිහිටි Hualien යන සංචාරකයන් නිතර දෙවේලේ ගමන් කරන සංචාරක ගමනාන්තයකි. මෙහි කම්පන මාලාව සිදු වූයේ රිච්ටර් මාපකයේ 6.4ක් පමණ වූ පසුවය.
Hualien නගරයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ දිනය අවසන් වන විට අනතුරට ලක් වූ ගොඩනැඟිලිවල සිටි බහුතරයක් දෙනා ඉන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි. මේ අතර එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අවශ්‍ය ඕනෑම ආධාරයක් කිරීමට එක්සත් ජනපදය සූදානම් බවකි.
තායිවානයේ පිහිටීම
භූ විද්‍යාඥයින් පවසන ආකාරයට තායිවානය පිහිටා ඇත්තේ පැසිෆික් ගිනි වළල්ලෙහි සහ පිලිපීන මුහුදු සීමාවේ බටහිර දෙසට වන්නට පිහිටි භූකම්පන ක්‍රියාකාරී කලාපයකය. මේ වන විට තායිවානයේ බොහෝ භූ කම්පන සිදුව ඇත්තේ ද නැඟෙනහිර වෙරළට ඔබ්බෙනි. තායිවානයේ භූකම්පන වාර්තාවන් සලකා බැලීමේදී පෙනී යන කරුණ වන්නේ එරට ප්‍රථම වාර්තාගත භූ කම්පනය සිදුව ඇත්තේ 1624 දීය. මීට අමතරව 1901 සිට 2000 වසර දක්වා කාලය තුළ භූමිකම්පා 91ක් සිදුව ඇති අතර එයින් භූමිකම්පා 48ක් නම් කර ඇත්තේ ජීවිත හානි සඳහා මුල් වූ භූ කම්පන ලෙසිනි. කෙසේ වුව ද මෑත කාලයේ ඉහළ මරණ අනුපාතයක් ඇති වූ වසර ලෙසින් සැලකෙන්නේ 1999 වසරයි. මෙම වසරේදී 7.7ක රිච්ටර් අගයක් පෙන්නුම් කළ අතර දිවයින පුරා මෙම භූ කම්පනය ඇතිවීමෙන් පුද්ගලයින් 2415 දෙනකු මියගිය බව සංඛ්‍යා ලේඛනයන්හි සඳහන් කර ඇති අතර පුද්ගලයන් 1000කට වඩා මියගිය භූ කම්පන ඇත්තේ අතළොස්සකි. ඒ අනුව 1843 වසරේදී ඇති වූ භූ කම්පනයෙන් 1030ක් ද, 1906 වසරේ 1258 – 1266ක් ද, 1935 වසරේ 3276ක් ද වශයෙනි. මීට අමතරව පුද්ගල මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනේ සංඛ්‍යාවකට පැමිණියේ 1862 වර්ෂයේදීය. ඒ වසරේ භූ කම්පනයෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසින් දැක්වෙන්නේ 500ක පමණ සංඛ්‍යාවකි.
පසුගිය බදාදා ඇති වූ භූ කම්පනය ඇතිවීමට පෙර වඩා ප්‍රබලම භූ කම්පනයක් සිදු වූයේ මීට වසර 25කට පෙර 1999 වසරේදීය. එහෙත් තායිවාන ඉතිහාසයේ වඩාත් හානිදායකම භූ කම්පනය ඇති වූයේ මීට වසර 89කට පෙර 1935 අප්‍රේල් මස 21 වැනිදාය. පුද්ගලයින් 3276 දෙනෙකු මියගිය එම වසරේදී ගොඩනැඟිලි බිඳ වැටීම් 17,907ක් සංඛ්‍යා ලේඛනගතව තිබේ.
එහෙත් තායිවානයේ වඩාත් කතාබහට ලක් වූ භූ කම්පනය වන්නේ 1999 වසරේ Nantou ප්‍රාන්තයේ සිදු වූ 7.7 රිච්ටර් අගයක් පෙන්නූ භූකම්පනයයි.
පසුගියදා ඇතිවූ භූ කම්පනය හේතුවෙන් තායිවානයේ ගුවන් හමුදා කඳවුරක ජෙට් යානා කිහිපයකට ද හානි සිදුවිය.
කොයිහැටි වෙතත් බ්‍රහස්පතින්දා සවස් යාමය වන විටත් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කටයුතු සිදුවන බව CNN පුවත් සේවය සඳහන් කරයි. භූකම්පනයට ලක්ව දිනකට පසුව පසු කම්පන තත්ත්වයන් දිගින් දිගටම ඇතිවන්නට විය.
මේ අනුව තායිවාන බලධාරින් ප්‍රකාශ කරන ආකාරයට මෙම පසුකම්පන තත්ත්වයන් මෙම සතිය අවසානය පමණ වනතුරු පැවතිය හැකි බව සඳහන් කරයි.
මෙකී භූ කම්පනය කවර ප්‍රබල මට්ටමක පැවතියද දැකිය හැකි විශේෂිතම කරුණ වන්නේ ජීවිත හානි ඉතාමත් අවම තත්ත්වයක පැවතීමයි. CNN පුවත් සේවය සඳහන් කරනුයේ 44 දෙනකු පමණ අතුරුදන්ව 1067 දෙනකු තුවාල ලබා ඇති බවයි. තායිවානයේ ගිනි නිවන ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වන CNN පුවත් සේවය ප්‍රකාශ කරනුයේ මේ වන විට 633 දෙනකු පමණ අතරමංව සිටින බවයි.
සහන සේවා
භූ කම්පනය සිදු වීමෙන් පසු පසු දින උදෑසන සිට අබලන් වූ මාවත් මෙන්ම දුම්රිය මාර්ග පිළිසකර කිරීමේ කටයුතු යුහුසුළුව ඉටුකිරීමට කටයුතු කළහ. එමෙන්ම දුම්රිය මාර්ග ආශ්‍රිතව සිදුවුණු කඩා වැටීම් මෙන්ම මෝටර් රථ ආදියද ඉවත් කරන්න කටයුතු කළහ. මේ කම්පනය හේතුවෙන් විදුලිය විසන්ධිවීම් මෙන්ම අන්තර්ජාල විසන්ධිවීම් ද වාර්තා විය. තායිවාන භූ කම්පන මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා පවසන්නේ භූ කම්පනය ගොඩබිමට ආසන්න වන අතර එය නොගැඹුරු බවත් වසර 25කට පසුව ඇති වූ ප්‍රබලම භූමිකම්පාව මෙය බවත්ය.