කොරෝනා වසංගතය පැවති කාලසීමාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබඳව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ගෝඨාභය රාජපක්ෂ රජයේ සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා කීවේය.
ජීවන් තොණ්ඩමන් මහතා එම අදහස් පළ කළේ පසුගිය 2වැනිදා හැටන් නගරයේ පැවති ඉෆ්තාර් රැස්වීමකදීය. එම උත්සවය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවැති රජය මේ බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කීපයක් ප්‍රතික්ෂේප කරමින්. මේ ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බව කියමිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මඟින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට ලක් කිරීම හා ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක්. මේ පිළිබඳව පර්යේෂණ කරන ලෙස ඇමැති ධුරය බාරගත් පසු මා උපදෙස් දුන්නා. 2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මේ පර්යේෂණයේ ප්‍රධාන අරමුණු වුණේ ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම. ඒවගේම ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මඟින් කොරෝනා ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්රවීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කළා.
මේ වසරේ ප්‍රකාශයට පත් කරන ලද මේ අධ්‍යයනය නිගමනය කළේ, වසංගතය අතරතුර නිසි ලෙස කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නැති බවයි. මුද්‍රා තැබූ සිරුරු බෑග්වල ගැඹුරින් භූමදාන කිරීම ඇතුළුව නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මඟින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා. මේ පර්යේෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තිබෙනවා. ඒ නිසා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරනවායිද පැවසීය.