අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම නීති අධ්‍යාපනයේත් ප්‍රශස්ත වෙනසක් කළ යුතු අතර නීති අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සඳහා අදහස් හා යෝජනා දෙන්නැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමය වෙනස්වීමට නම් මැතිවරණ ක්‍රමය ද වෙනස් කළ යුතු බව ද ඇමැතිවරයා කියයි.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ වර්තමාන නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව නීති විද්‍යාල සිසුන් දැනුම්වත් කිරීමට කොළඹ, නීති විද්‍යාල පරිශ්‍රයේදී පැවති විශේෂ දේශනයකට ඊයේ (03) එක්වෙමිනි. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ගෙනාවා සේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලදී සෙනෙට් සභාවක් පත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඇමැතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.
ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණවලින් පසුව අනිවාර්යෙන්ම මැතිවරණ ක්‍රමයේ වෙනසකට යා යුතුයි. ඒ සඳහා දේශපාලන පක්ෂ නායකයන් සාකච්ඡා කළ යුතුයි. නව මැතිවරණ ක්‍රමයෙන් ඡන්ද කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයකු පත් කර ගත යුතුයි. සුළු දේශපාලන පක්ෂවලට අසාධාරණයක් නොවන පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැදගත්. අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පසුගිය කාලයේ සියයකට අධික නීති සංඛ්‍යාවක් සංශෝධනය කළා. ඒවායේ ප්රතිලාභ ඉදිරියේදී ලැබෙනවා යැයිද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
දක්ෂ වෘත්තීය නීතිඥයකු වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම, නීති ශිෂ්‍යයකු ලෙස වර්තමාන දේශපාලන සමාජ තත්ත්වයන් පිළිබඳව යාවත්කාලීන වීම පිළිබඳව ඇමැතිවරයා සිය දේශනයේදී පෙන්වා දුන්නේය. නීති විද්‍යාල ප්‍රවේශය සඳහා දැනට අය කරන ගාස්තු ගැන මෙහිදී නීති ශිෂ්‍යයකු ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර, ඒ සඳහා පිළිතුරු ලබා දුන් ඇමැතිවරයා පැවැසුවේ නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු පිළිබඳව දැනට සාකච්ඡා කර ඇති බවයි.
‘නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු ගැන අපි සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නීති විද්‍යාලය 1900 හඳුන්වා දුන් පනත අනුව තවමත් ක්‍රියාත්මක වෙන්නේ. මුලින් මේ විද්‍යාලය ඇති කර තිබෙන්නේ සිසුන් සියයකට පමණයි. දැන් හත් දහසක පමණ සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතුවලට ලියාපදිංචිව සිටිනවා. මේ රටේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල නඩත්තුවට රජයෙන් මුදල් වෙන් කරනවා. එහෙත් නීති විද්‍යාලයේ කටයුතුවලට රජය මුදල් වෙන් කරන්නේ නැහැ. එහි කටයුතු කරන්නේ නීති විද්‍යාල විභාගවලට අය කරන මුදල්වලින්. නීති විද්‍යාලය වෘත්තීය පුහුණු ආයතනයක් විය යුතුයි. නීති විද්‍යාල අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. නීති අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. එම තේරීම් කාරක සභාවට මේ දිනවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා අදහස් හා යෝජනා නීති ශිෂ්‍යයන්ට දිය හැකියි. අධ්‍යාපන ක්‍රමය මෙන්ම නීති අධ්‍යාපනයේත් ප්‍රශස්ත වෙනසක් කළ යුතු යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක, නීති විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද රත්නසේකර මහත්වරුන් ඇතුළු නීති විද්‍යාල සිසුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුහ.