උතුරු – නැඟෙනහිරට ආවේණික තල් අරක්කු හා රා ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කර එම කර්මාන්තයේ නියැළෙන ප්‍රජාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
තල් කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් හා අපනයනකරුවන් පිරිසක් පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බැව් අවධාරණය කළේය.
මෙහිදී අපනයනකරුවන් කියා සිටියේ මෙරට තල් රා සහ අරක්කු සඳහා ශ්‍රී ලාංකිකයන් බහුලව වෙසෙන කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, නවසීලන්තය ආදි රටවලින් විශාල ඉල්ලුමක් පවතින බවයි. මෙරට ඉහළ පෙළේ හෝටල්වල ද මේ සඳහා විශාල ඉල්ලුමක් ඇති අතර, එම ඉල්ලුම සපුරාලීම උතුරු, නැඟෙනහිර පළාතේ මේ නිෂ්පාදන අලෙවි කරන්නන්ට බාධාවක් නොවන ආකාරයට සිදු කරන බව ද ඔවුහු පැවසූහ.
තල් හකුරු, තල් බීමවලටද විශාල ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තකරුවන් මේ සඳහා යොමු කර විදේශ වෙළෙඳ පොළේ ඉල්ලුම අනුව නිෂ්පාදනය වැඩි කිරීමට ඇමැතිවරයාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද නියෝජිතයෝ පැවසූහ. කර්මාන්තකරුවන් මෙහිදී ප්‍රකාශ කළේ තම නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් ලැබෙන්නේ නම් එම නිෂ්පාදන අපනයනකරුවන්ට ලබාදීමට අපේෂා කරන බවත් ඒවා ඇසුරුම් කිරීමට බෝතල් සෝදන යන්ත්‍රයක් ආදි යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන්නේ නම් තම නිෂ්පාදන ගුණාත්මකව දිය හැකි බවත්ය.
මෙහිදී අදහස් දැක්වු ඇමැති දේවානන්දා මහතා පැවසුවේ ස්වාභාවික ශාකයක් ලෙස වැඩෙන තල් ශාකයෙන් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව රජයෙන් දිය හැකි උපරිම සහයෝගය දෙන බවයි. නිෂ්පාදනය ඵලදායීව කිරීමට අවශ්‍ය උපකරණ මෙන්ම යටිතල පහසුකම් ලබාදීමට පියවර ගන්නා අතරම අපනයනය සඳහා යම් බාධා මතුවුවහොත් එයට ද විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.