හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපොළ නවීකරණය කර ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා භාවිත කිරීමට බලාපොරොත්තු වන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු සහ එහි ගැටලු සොයා බැලීම සඳහා පෙරේදා (04) පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව පැවති විශේෂ සාකච්ඡාවේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.
මෙම ගුවන්තොටුපොළ නවීකරණය තුළින් ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බවට පරිවර්තනය කිරීමයි. ඒ සඳහා 2023 වසරේ අය වැයෙන් රුපියල් බිලියන 02ක් ජනාධිපතිතුමා ලබා දී තිබෙනවා. ඒ අනුව ඉදිරි සෑම වසරකම හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළේ ඉදිකිරීම් සඳහා අය වැයෙන් මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. අපේ අවසාන ඉලක්කය වී තිබෙන්නේ මත්තල, කටුනායක, රත්මලාන, පලාලි සහ හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ නවීකරණය කිරීමයි. එබැවින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගෙ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙම ගුවන්තොටුපොළ දෙවැනි ලෝක යුද සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ( RAF Minneriya ) ලෙසද හඳුන්වා තිබෙනවා. රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපොළ රටේ ආර්ථිකයට ශක්තියක් කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බවට පරිවර්තනය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2024 අය වැයෙන් මෙහි මූලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 දිගින් සහ මීටර් 46ක පළලින් යුතු ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනවා. මෙම සැලසුම්සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව එයාර් බස් 320, බෝයිං B 737 යන මාදිලිවල ගුවන්යානා මෙහෙයුම් සිදු කිරීමට හැකි වේ. මේ සමස්ත සංවර්ධන කටයතු සඳහා රුපියල් බිලියන 17 පමණ වැය වන බවත් සියලු ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.
රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ වැඩබලන සභාපති මංගල විජේසිංහ, ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.