Sunday, May 11, 2025
Home » තීරණාත්මක අවස්ථා ගණනාවකදී විජයදාස රට වෙනුවෙන් මා සමඟ සිටියා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියේ හතළිස් වස් සැමරුමේදී ජනපති කියයි

තීරණාත්මක අවස්ථා ගණනාවකදී විජයදාස රට වෙනුවෙන් මා සමඟ සිටියා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියේ හතළිස් වස් සැමරුමේදී ජනපති කියයි

by sachintha
April 8, 2024 1:38 am 0 comment

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් තමා සමඟ එක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥ දිවියට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා (05) පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

විජයදාස රාජපක්ෂ මහතා යටතේ පුහුණු වන සහ පුහුණුව ලැබූ කනිෂ්ඨ නීතිඥයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකීය දේශපාලනය සහ නීතිඥ වෘත්තිය වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන විජයදාස රාජපක්ෂ මහතා සාහිත්‍යකරුවකු, ලේඛකයකු, ගීත රචකයකු ලෙස සහ කලාකරුවකු ලෙස ද සිදු කර ඇති සේවය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක් විය.

1977 වසරේ තමා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අවස්ථාවේ විජයදාස රාජපක්ෂ මහතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔහු එකල එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ අපේක්ෂකයකු වූ බවත් සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයා ලෙස අද ඒ මහතා පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ඉදිරි වෘත්තීය කටයුතු වෙනුවෙන් ද සිය සුබපැතුම් එක් කළේය.

පුරා වසර 40ක කාලයක් සිය නීතිඥ දිවියේ පැමිණි ගමන් මඟ සිහිපත් කරමින් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒම සෑම අවස්ථාවකදීම තමාට සහාය වූ සියලු දෙනාට සිය ස්තූතිය පිරිනැමූ අතර මෙවන් උත්සවයක් සංවිධානය කිරීම වෙනුවෙන් සිය කනිෂ්ඨ නීතිඥයන් ඇතුළු නීතිඥ ප්‍රජාවට කෘතවේදීත්වය පළ කළේය.

පුරා වසර 40ක කාලයක් කොළඹ අධිකරණ සංකීර්ණයේ නීතිඥවරයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ජනාධිපති නීතිඥවරයකු ලෙස ද නීතිඥ සංගමයේ සභාපතිවරයකු ලෙස ද දේශපාලනඥයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කෝප් කමිටු සභාපතිවරයකු සහ විවිධ රජයන් යටතේ අමාත්‍යාංශ ගණනාවකම කැබිනට් අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා නීතිඥ වෘත්තියට ඉටු කළ සේවාව අගයමින් කනිෂ්ඨ නීතිඥයන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

මැති ඇමැතිවරු රැසක් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු කථානායක කරු ජයසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නීතිපති සංජය රාජරත්නම්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු විනිසුරුවරුන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් ඇතුළු නීතිඥවරුන් සහ විජයදාස රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT