Thursday, May 15, 2025
Home » තිරප්පනේ ගොවීන් 80කට ඇගැයීම් තිළිණ

තිරප්පනේ ගොවීන් 80කට ඇගැයීම් තිළිණ

by sachintha
April 8, 2024 1:23 am 0 comment

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ලබා දුන් නව තාක්ෂණික ප්‍රතිලාභ හා උපදෙස් අනුව වගා කළ තිරප්පනේ ගොවීන් 80 දෙනකු පසුගිය වසරේදී (2023) රුපියල් මිලියන 2.5 සිට රුපියල් මිලියන 7.5 දක්වා ආදායම් උපයා ඇත.

මෙම ගොවීන් විසින් මිරිස්, පැණි කොමඩු, තල, මුං ඇට වැනි භෝග වර්ග වගා කරනු ලැබූ අතර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙම ගොවීන්ට අධි ඝනත්ව වගා ක්‍රමය, Double Raw වගා ක්‍රමය, විසිරි හා ජල බිංදු තාක්ෂණය වැනි නවීන වගා තාක්ෂණ ක්‍රම හඳුන්වාදී තිබිණි.

ඒ අනුව එම තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් වගා කළ තිරප්පනේ ගොවීන් 100කගෙන් 80 දෙනකු 2023 වසරේ මාස 02 සිට මාස 09ක් දක්වා වූ කාලය තුළ රුපියල් මිලියන 2.5 සිට රුපියල් මිලියන 7.5ක් දක්වා ආදායම් ඉපැයීමට සමත් වී තිබිණි. මෙම ගොවීන් ඇගැයීමට ලක් කිරීමේ වැඩසටහනක් පසුගියදා (05) තිරප්පනේ පුලියන්කුලම ප්‍රදේශයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූයේ පසුගිය වසරේ අක්කර භාගයක මිරිස් වගාවෙන් රුපියල් මිලියන 12ක ආදායමක් ඉපයූ පුලියන්කුලම බන්දුල මහතාගේ නිවෙසේදීය. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 13ක වියදමින් ඉදිකළ මිරිස් වේළීමේ නව තාක්ෂණික යන්ත්‍රය ද අමාත්‍යවරයා අතින් මෙහිදී ජනතා අයිතියට පත් කෙරිණි. මෙම යන්ත්‍රය මඟින් පැය 16කදී එකවර, ඉදුණු මිරිස් කිලෝග්‍රෑම් 800ක් වියළීමට හැකියාව ඇත.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසුවේ තිරප්පනේ ගම්මානය දැන් ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයම දන්නා ප්‍රදේශයක් බවයි.

‘විශේෂයෙන් කොමඩු අක්කරයකින් රුපියල් මිලියන 04ක් මාස දෙකකින් ඉපැයූ බුද්ධික තරුණයාත් මිරිස් අක්කර භාගයකින් රුපියල් මිලියන 12ක් ඉපයූ පුලියන්කුලම බන්දුල මහතාත් ගැන අද මුළු ලෝකයම දන්නවා. නවීන කෘෂිකර්මය තරුණ ප්‍රජාවට හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අමතරව තවත් රුපියල් මිලියන 2500ක මුදලක් ලබා දුන්නා. මෙම මුදල් උපයෝගි කර ගනිමින් රට පුරා ගම්මාන 150ක් අප නව කෘෂි තාක්ෂණික ආදර්ශ ගම්මාන වශයෙන් නම් කර ඒවායින් ඉහළ ආදායම් ලබන තත්ත්වයට පත් කරනවා. මෙම වැඩසටහන අප මේ වසරේ දීම ආරම්භ කළා. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම අඩු තරමින් ගම්මාන 05ක් අප කෘෂි තාක්ෂණික ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගන්නවා. යැයි ද අමාත්‍යවරයා මේ අවස්ථාවේදී පැවැසීය.

මෙහිදී ගොවි ජනතාව විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපහාර තිළිණයක් ද පිරිනමනු ලැබීය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT