Home » ප්‍රථම වරට බීජ වර්ග 5ක් අපනයනයට පියවර

ප්‍රථම වරට බීජ වර්ග 5ක් අපනයනයට පියවර

by sachintha
April 8, 2024 1:41 am 0 comment

පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ අනුව මිරිස්, වම්බටු, මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් අපනයනය කිරීම සිදු කෙරෙනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් මෙරට පුද්ගලික අංශය එක්ව නව බීජ වර්ග පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර, මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩඉරිඟු ආදී බීජ සඳහා ඉහළ ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත්ව තිබේ.

එමෙන්ම මේ බීජ වැඩි දියුණු කිරීම සහ සැකසීම ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ගනිමින් මෙරට පුද්ගලික අංශයෙන් සිදු කර ඇත.

ඒ අනුව මේ වසරේ පළමුවරට ඉහත සඳහන් කළ බීජ වර්ග යම් ප්‍රමාණයක් අපනයනයට සූදානම් කර ඇති බව පසුගිය 06 වැනිදා පැල්වෙහෙර CIC ගොවිපොළේ පර්යේෂණ වගාවන් නිරීක්ෂණයට එක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය දැනුම් දුන්නාය. මෙහිදී ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේ අපේ රටේ ගොවීන්ට ආනයනික බීජවලට වඩා ඉතාමත් අඩු මිලකට මේ බීජ වර්ග මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙසයි. මෙතෙක් විවිධ බෝග වර්ග සඳහා බීජ වර්ග විදේශ රටවලින් මෙරටට ආනයනය කළත් මේ වන විට අපේ රටේ වගාවට ඉතාමත් උචිත බීජ නිෂ්පාදනය කෙරෙමින් තිබීම අගය කළ යුතු බව ද ඇමැතිවරයා මෙහිදී කීවේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දුන් MICH 1 -2 මිරිස් ප්‍රභේදය මේ වන විට රට පුරා ඉතාමත් සාර්ථකව අස්වනු දෙමින් ඇති අතර, එම මිරිස් වගාවෙන් අඛණ්ඩව මාස 09ක් අස්වනු ගැනීමට හැකියාව තිබේ. මේ අයුරින්ම සාර්ථක ලෙස බඩඉරිඟු ඇතුළත් තවත් එළවළු බෝග වර්ග ගණනාවක් සහ පලතුරු ප්‍රභේද ගණනාවක් සම්බන්ධව සිදු කළ පර්යේෂණ සාර්ථකවීම මත ඉදිරියේදී මෙරටට බීජ ආනයනය කිරීම නැවැත්වීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා මේ අවස්ථාවේදී අවධාරණය කළේය. මේ නිසා බීජ වර්ගවල මිල ගණන් සියයට 50කින් පමණ අවම වනු ඇතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT