මාතර, කරන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලද නියෝගයක් මත විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් සිද්ධියට අදාළ සැකකරුවකූ පිළිබඳ ලද තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපළේ රැඳී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.
පසුව අධිකරණයට ඉදිරිපත් කොට කරුණු වාර්තා කර ලබාගත් රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ විමර්ශනවලදී ඉකුත් 04 වැනිදා සවස පූගොඩ පොලිස් වසමේ ඇස්වත්ත ප්‍රදේශයේ පාළු භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ එම ගිනි අවියට යොදනු ලබන ජීව උණ්ඩ 02ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩා පැකට්ටුවක් සොයා අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පවසයි.
කරන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක්, දැනට රටින් පලා ගොස් විදෙස් රටක සැඟව සිටින පාතාල සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයකු වන කරන්දෙණියේ සුද්දා නමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ එකක් බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ මත්ද්‍රව්‍ය හා ගිනි අවි ජාවාරමට සම්බන්ධ හංවැල්ල, රනාල ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට පත්ව ඇති සැකකරු ක්‍රියා කර ඇති බවට අනාවරණය වීමත් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට සෙවීමේදී ඒ පිළිබඳව සැකකරු විසින් දැන ගැනීමත් සමඟ රටින් පැන යාමට උත්සාහ කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
එලෙස රටින් පිටව යෑම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කිරීමට උදවු උපකාර කළ පුද්ගලයින් අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටින්නේද නැතහොත් ව්‍යාජ ගමන් බලපත්‍රය මෙම පුද්ගලයාට ලැබුණු ආකාරය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සොයාගත් පිස්තෝල ගිනි අවියෙන් මනුෂ්‍ය ඝාතන හා වෙනත් අපරාධ ක්‍රියාවන් සඳහා යොදාගෙන ඇත්දැයි සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට පත් සැකකරු හංවැල්ල, රනාල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.
සැකකරු 06 වන දින නැවත අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා ගනිමින් ඉදිරි පරීක්ෂණ හා විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.