Thursday, May 15, 2025
Home » චන්ද්‍රිකා පිල ලොක් කළ ශ්‍රීලනිප ගේට්ටුවට මෛත්‍රී පිලෙනුත් ලොක් එකක්

චන්ද්‍රිකා පිල ලොක් කළ ශ්‍රීලනිප ගේට්ටුවට මෛත්‍රී පිලෙනුත් ලොක් එකක්

by sachintha
April 10, 2024 1:03 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාර්ශ්වය විසින් ඉබි යතුරු දමා දැනට වසා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පැමිණ ඊයේ (09) තවත් ඉබි යතුරක් දැමීමට කටයුතු කළේය. ඒ අනුව මෙම පාර්ශ්ව දෙකම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ පිහිටි කාර්යාලය විවෘත කිරීමට නොහැකිය.

ඉබි යතුරු දමා දැනට වසා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදය විසඳීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාර්ශ්වයත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයත් ලෙස බෙදී සිටින කණ්ඩායම් දෙකටම මරදාන පොලිසිය විසින් ඊයේ (09) කැඳවීමක් සිදු කර තිබිණි. ඒ අනුව පෙරවරු 10.00ට පක්ෂ කාර්යාලය අබියසට පැමිණෙන ලෙස මරදාන පොලිසිය විසින් දෙපාර්ශ්වයටම දැනුම් දෙන ලදි. ඒ අනුව පෙරවරු 10.00 වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පිරිසක් පැමිණිය ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වයෙන් කිසිවකු පැමිණ සිටියේ නැත. ඒ අනුව පැය භාගයකට ආසන්න කාලයක් පක්ෂ කාර්යාලය අබියස රැඳී සිටි සාරතී දුෂ්මන්ත මහතා ඇතුළු පිරිස විසින් රැගෙන එන ලද තවත් ඉබි යතුරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ගේට්ටුවට දැම්මේය. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මෙසේ පැවැසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වන විට යම් අර්බුදයක් ඇති වී තිබෙනවා. අප කිසිවකු නැති අවස්ථාවේ තවත් පාර්ශ්වයක් පක්ෂ කාර්යාලය වෙත ඇතුළු වී තිබුණා. එහිදී පක්ෂයට අදාළ වැදගත් ලිපි ලේඛන ප්‍රමාණයක් අස්ථානගත වී තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අප මරදාන පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළා. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා පැමිණෙන ලෙස පොලිසියෙන් මා වෙත දැනුම් දීමක් සිදු කළා. ඒ අනුව මම මේ ස්ථානයට පැමිණියා. ඒ වගේම මෙම ප්‍රවේශ දෙකේම ඇඟිලි සලකුණු තිබෙනවා. ඒ ඇඟිලි සලකුණු ලබාගෙන මෙම ප්‍රවේශ වෙත ඇතුළු වී විමර්ශන සිදු කළ යුතුයි කියන ඉල්ලීම අප සිදු කරනවා. මේ විදිහට ගියොත් මේ ඇඟිලි සලකුණු ආදිය විනාශ වෙන්නත් පුළුවන්. ඒ වගේම අනිත් පාර්ශ්වයට මෙය විසඳීමේ අවශ්‍යතාවක් තිබෙනවා ද යන්න දැන් පැහැදිලියි. මෙතැන සේවය කරන සේවක පිරිසක් සිටිනවා. අප ඒ අයගේ පැත්තෙනුත් කල්පනා කළ යුතුයි. මෙම සිදුවීමට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වය එන්නේ නැත්තම් ඇයි එන්නේ නැත්තේ කියලා ඒ පාර්ශ්වයෙන් ද ප්‍රකාශයක් ලබාගන්න. මේ විදිහට මිනිස්සු රස්තියාදු කරවන්න එපා. විශේෂයෙන්ම අවුරුදු කටේ. පක්ෂ කාර්යාලය කියන්නේ වෘත්තීය සමිති නියෝජිතයන් ගණනාවක් සිටින තැනක්. සේවකයන් පිරිසක් සිටිනවා. ඒ අයට වැටුප් ගෙවන්න විදිහක් නැහැ. ඒ නිසා බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අයත් ඇවිත් පැමිණිල්ලක් සිදු කරනවා කියලා කිව්වා. ඒ නිසා අප ඉල්ලීමක් කරනවා පැමිණිලි පාර්ශ්වය ලෙස නීතියට ගරු කරලා ඇවිත් මෙම විමර්ශන කටයුතු සිදු කරන්නට සහාය දෙන්න කියලා. අපට මෙතැනට එන්න කියලා දැනුම් දුන්නේ පොලිසිය විසින්. මේක අපේ පරිශ්‍රය. අපිත් ලොක් එකක් දැම්මා. අර්බුදය විසඳන්න එක පාර්ශ්වයක් ඇවිත් බැහැ. ඒ අය ආව ද? මාධ්‍යවේදියෝ සාක්ෂිනේ. අප මෙතැන මොන තරම් වෙලාවක් හිටිය ද? අප මෙතැන ලොකු වෙලාවක් රැඳී සිටියා. අපිට 10.00ට එන ලෙස දැනුම් දී තිබුණා. මම එන අතරතුරත් එනව ද කියලා විමසීමක් කළා. මම එයට එන බව දැනුම් දුන්නා. අපගේ පාර්ශ්වයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට හා එස්.එස්.පී මහතාට දැනුම් දුන්නා. මේකට අදාළව අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවැසීය. “මේ සම්බන්ධයෙන් මරදාන පොලිසිය දැනුම් දීමක් කර තිබුණා සඳුදා පක්ෂ කාර්යාලය ඉදිරියට පැමිණෙන ලෙසට. සඳුදා දිනයේදී අපට පැමිණීමේ හැකියාවක් තිබුණා. නමුත් සාරතී දුෂ්මන්ත මන්ත්‍රීතුමා ඇතුළු පිරිසට සඳුදා පැමිණීම අපහසු බව දැනුම් දී තිබුණා. ඒ අනුව අඟහරුවාදා දිනයේදී (ඊයේ) එන ලෙස දැනුම් දී තිබුණා. නමුත් අපට ඊයේ සහභාගි වීමේ යම් අපහසුවක් ඇති වුණා. ඒ අනුව අද (10) පෙරවරු 10.00ට පැමිණෙන බව අප දැනුම් දුන්නා. අද දිනයේදී ඒ කටයුතු ආරම්භ කළ හැකියි.”

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT