Thursday, May 15, 2025
Home » අවුරුද්දට සතුටු වෙමු ඒ වගේම පරිස්සම් වෙමු

අවුරුද්දට සතුටු වෙමු ඒ වගේම පරිස්සම් වෙමු

by sachintha
April 10, 2024 1:02 am 0 comment

ළඟ ළඟ පැමිණෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ආදරයෙන් පිළිගන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මඟ බලා සිටිති. වැඩ රාජකාරිවලම යෙදී සිට කායිකව, මානසිකව හෙම්බත්ව සිටින පුද්ගලයන්ට මේ උත්සව සමය මහමෙරක් බඳුය. ගස්වැල් පවා පලින් බරව තිබෙන්නේ මේ අවුරුදු කාලය මහත් අසිරියෙන් පිළිගැනීමට ය. මේ සුන්දර කාලසීමාව පරෙස්සමෙන් ගතකළොත් අප කාගේත් සතුට ආරක්ෂා කර ගත හැකිය. විශේෂයෙන්ම කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීම මේ කාලයේ සිදු කළ යුතුම දෙයකි. විනෝදයෙන් කාලය ගත කිරීමට තිබෙන මේ කාලසීමාවේදී රෝහල්ගත වීම්, ගෘහස්ථ අනතුරු, මාර්ග හදිසි අනතුරු වැඩි වීමක් ඇති විය හැකි බව ද සිතට ගත යුතුය. ජීවිත ආරක්ෂාව පිළිබඳව නොසැලකිලිමත්කම නිසා මේ කාලසීමාව තුළදී සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව අවධාරණය කළ යුතුය.

මේ උත්සව සමයේදී ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතළ තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම ද පසුගියදා (08) සිදු කෙරිණි. පසුගිය වසර කිහිපය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙනෙන කාරණයක් වනුයේ අනෙකුත් කාලසීමාවන්ට සාපේක්ෂව විශේෂයෙන්ම අලුත් අවුරුදු කාලසීමාවේදී මෙරට අනතුරු සම්බන්ධයෙන් රෝහල්ගත වීම් ඉහළ ගොස් ඇති බව ය. අලුත් අවුරුදු කාලයේදී සතුට තබා ගැනීම සඳහා රජය විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. මෙම ආරක්ෂණ වැඩපිළිවෙළට නතුව කටයුතු කළහොත් අලුත් අවුරුදු සමයේදී ඇති වන අවාසනාවන්ත මරණ තත්ත්වයන් සහ විශාල ලෙස සිදු වන රෝහල්ගත වීම් වළක්වා ගත හැකිය.

අවුරුදු සමයේ මරණ

අලුත් අවුරුදු සමයේ සතියකට වාර්තා වන මරණ සංඛ්‍යාව 2015, 2016, 2017 වසරවල සැලකුවහොත් එක් වසරකටමරණ 40ක් පමණ වෙයි. 2015 වසරේදී අලුත් අවුරුදු කාලසීමාවන්වලදී අනෙකුත් සතිවලට සාපේක්ෂව මරණ 5ක් වැඩි වී ඇති බවට වාර්තා වේ. 2016 වසරේදී ආසන්න වශයෙන් මරණ ගණන ඉහළ ගොස් තිබේ. සතියකට 42 ක් වන සාමාන්‍ය මරණ සංඛ්‍යාව අනතුර හේතුවෙන් 59ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2014 වසරේදී 49ක් වූ මරණ සංඛ්‍යාව අලුත් අවුරුදු සතියේ දී 71ක් බවට වාර්තා වේ. එය සැලකිය යුතු වැඩිවීමකි. එම සතිය තුළදී රටේ සාමාන්‍ය තත්ත්වයට වඩා අවම වශයෙන් මරණ 10ක් 15ක්, ඇතැම් වර්ෂවලදී මරණ 30ක් 40ක් ඉහළ ගොස් ඇත. මේ අනතුරු ප්‍රධාන වශයෙන් සිදු වනුයේ මාර්ග ආශ්‍රිතව ය. බීමත්ව රිය පැදවීම, අනාරක්ෂිතව රිය පැදවීම, ආරක්ෂක උපාංග වන සීට් බෙල්ට් ආදිය නොපැලඳීම යනාදිය නිසා විශාල වශයෙන් මාර්ග අනතුරු සිදු වන බවට වාර්තා වේ.

මෙම අවුරුදු සමයේදී නිවෙස, ගමනාගමනය, උත්සව, සැණකෙළි ආශ්‍රිතව අනතුරු ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්තයන්ට අනුව පැහැදිලි වේ. උදාහරණයක් ලෙස 2019 වසරේදී සාමාන්‍ය සතියක රෝහල්ගත වීමේ අනතුරු 24,838ක් වාර්තා වී තිබේ. අවුරුදු සතිය තුළදී 28,725ක් ලෙස වාර්තා වී ඇත. මෙම සංඛ්‍යා දත්ත මඟින් පැහැදිලි වනුයේ ආසන්න ලෙස 5000ක පිරිසක් අනෙකුත් සතිවලට සාපේක්ෂව වැඩිපුර රෝහල්ගත වන බව ය. 2021 වර්ෂයේ දී 13,063ක් රෝහල්ගත වීම් වාර්තා වේ. එම වර්ෂයේ අලුත් අවුරුදු සතියේ දී 20,059ක් දක්වා අනතුරු ඉහළ ගොස් ඇති අතර වෙනත් සතිවලට සාපේක්ෂව එම සතියේ අනතුරුවල ඉහළ යාම 7000ක් දක්වා වැඩි වී තිබේ. මෙම දත්තයන්ට අනුව වෙනත් කාලසීමාවන්ට සාපේක්ෂව අලුත් අවුරුදු කාලය තුළදී අනතුරුවල ඉහළ යාම පැහැදිලිව පෙනේ.

ගිනිකෙළි පරිස්සමෙන්

අවුරුදු සමයේදී රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ සහ වෙනත් අනතුරු නිසා ඇසට සිදු වන හානිවලින් ද ආරක්ෂා විය යුතුය. අවුරුදු උදාවත් සමඟ විවිධාකාරයේ අනතුරු නිසා ඇසට සිදු වන අනතුරුවල අතිශය වර්ධනයක් දැක ගත හැකිය. රතිඤ්ඤා හා ගිනිකෙළි භාණ්ඩ පරිභෝජනය වැඩිවීම, ගෘහස්ථ අනතුරු සහ මාර්ග අනතුරු වැඩි වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. පුද්ගලයන්ගේ නොසැලකිලිමත්භාවය, අනවශ්‍ය අවදානමක් ගැනීම, නොදැනීම යනාදී කාරණා මෙම අනතුරුවලට හේතු බව හඳුනාගෙන තිබේ. මෙම අනතුරු නිසා නව අවුරුද්දේ ආරම්භය රෝහල්ගත කිරීමේ සිට ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථිර පෙනීම අඩු වීමක් හෝ සිදුවිය හැකි ය. ඇස යනු ඉතා සියුම් සංවේදී ඉන්ද්‍රියකි. වරක් හෝ සිදු වන අනතුරකින් ඇසට සිදු වන හානිය නැවත ප්‍රකෘතිමත් කර ගැනීම ඉතා අපහසුය. ඒ නිසා මේ පිළිබඳව දැනුම්වත් වීම දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද වගකීමකි. සමීක්ෂණ දත්ත අනුව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇති වන අනතුරු අතරින් වඩාත්ම බහුල වනුයේ අත් සහ ඇඟිලිවලට සිදු වන අනතුරුය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 46කි. මෙම අනතුරුවලින් සියයට 17ක් ඇස්වලටත්, තවත් සියයට 17ක් මුහුණ, හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතවත් සිදු වේ. කුඩා පිරිමි දරුවන් හා තරුණයින් බහුතරයක් අනතුරට ලක්වන්නන් අතර වන අතර එම දත්ත අනුව වඩාත්ම අනතුරු ඇති කර තිබෙනුයේ රතිඤ්ඤාවලිනි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 32කි. අහස්කූරු, බඹර චක්‍ර, රොකට් හැඩයේ ද්‍රව්‍ය සහ නිලාකූරුවලින් ද අනතුරු සිදු වේ. ගිනිකෙළි නිසා සිදු වන අනතුරු අතර වඩාත්ම බහුල වනුයේ පිලිස්සුම් තුවාලය. එම තුවාල ඇසේ මතුපිට කොටස්වලට වැඩියෙන් බලපායි. ඇස්පියවලට ඇති වන අනතුරු නිසා ඇසේ කුනීතයේ ආරක්ෂාවට ඍජුවම බලපාන අතර දීර්ඝකාලීනව ඇසේ වියළි බව ඇති වීම නිසා කුනීතයේ තුවාල පවා ඇතිවිය හැකිය. ගිනිකෙළි භාවිතය නිසා සදහටම ඇසේ පෙනීම නැති වීමේ අවදානමක් පවතියි. රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළිවලට ආයුබෝවන් කියා අවුරුදු සැමරිය නොහැකි නම් ඉතාම පරෙස්සමෙන් මේවා භාවිත කළ යුතුය. ගෘහස්ථ අනතුරු අතර තණකොළ කපන යන්ත්‍රවලින් කෑලි විසිවීම සහ නිවෙස් අලුත්වැඩියාව යනාදියේදීත් ඇස් අනතුරු සිදු විය හැකිය.

අයහපත් කාලගුණික තත්ත්වයන්

ගිනිකෙළි අනතුරු අවම කිරීම සඳහා උපදෙස් ද පවතියි. සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ ගිනිකෙළි ද්‍රව්‍ය භාවිත කළ යුතුය. කිසිවිටක කුඩා ළමුන් විසින් දැල්වීම නොකළ යුතුය. දැල්වීම කළ යුත්තේ විවෘත ස්ථානවල වන අතර කිසිවිටෙක ගොඩනැඟිලි තුළ රථවාහන අසල හෝ ගිනි ගන්නා සුලු ද්‍රව්‍ය ඇති ස්ථානවල රතිඤ්ඤා ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිත නොකළ යුතුය. රතිඤ්ඤා වරකට එක බැගින් දැල්විය යුතු අතර දැල් වූ වහාම ඒ අසලින් ඉවත් වීම වැදගත්ය. රැස්ව සිටින අය රතිඤ්ඤා දල්වන ස්ථානයට සැලකිය යුතු දුරකින් සිටිය යුතුය. කිසිවිටෙක දැල් වූ රතිඤ්ඤා කෙනෙකු දෙසට විසි නොකළ යුතුය. කිසිවිටෙක රතිඤ්ඤා හෝ ගිනිකෙළි සේවා නූල හෝ ඇතුළත කොටස් කඩා වෙනස් නොකළ යුතුය. නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීමට උත්සාහ නොකළ යුතුය. ගිනිකෙළි දල්වන අවස්ථාවේ වතුර බාල්දියක් තබා ගත යුතු අතර පිලිස්සුම් සඳහා ප්‍රථමාධාර සඳහා මෙන්ම නොදැල් වූ රතිඤ්ඤා ආදිය ගිල්වීමට භාවිත කළ හැකිය. නොවැළැක්විය හැකි ලෙස අනතුරකට ලක් වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය.

උත්සව සමයන්හිදී සංවිධානය කරන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම හා බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා වන මාර්ගෝපදේශ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කර තිබේ. ක්‍රීඩා කිරීමට පෙර යෝග්‍යතා පරීක්ෂණය, පරිසරයේ ආරක්ෂාව, උපකරණවලට ආරක්ෂාව, ප්‍රථමාධාර හා හදිසි සත්කාර, රෝහල වෙත ප්‍රවාහනය, කාලගුණය පිළිබඳ සලකා බැලීම, සහභාගී වන්නන් දැනුම්වත් කිරීම, අධීක්ෂණය හා ඇගයීම පොදු මාර්ගෝපදේශ ලෙස මෙම මාර්ගෝපදේශයන්හි දක්වා තිබේ. මැරතන්, ගම හරහා දිවීම, පාපැදි ධාවනය යනාදී දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා සහභාගි වන්නන් අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් සිදු කළ යුතුය. තරගයට පෙර සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක් විය යුතුය. මේ තරග සඳහා සහභාගී වීමට සුදුසු බවට වෛද්‍ය සහතිකයක් ලැබීමෙන් පසුව තරගයට සහභාගී විය යුතුය. නොඑසේ නම් ජීවිත අවදානමකට ලක් විය හැකිය. ඉසව්ව පැවැත්වීමට පෙර, පැවැත්වෙන අතරතුර සහ ඉන්පසුව සජලනය හා පෝෂණය පවත්වා ගැනීමට සහභාගී වන්නන් දිරිමත් කළ යුතුය.

තරග ඉසව්වකදී සිදු වන හදිසි අනතුරකදී රෝගියා රෝහල වෙත ප්‍රවාහනයේ දී විශේෂ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු ය. වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අනතුරට ලක් වූ පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සඳහා නම් කළ වාහනයක් තිබීම වැදගත් ය. අනතුරට ලක් වූ තැනැත්තාගේ පිටුපස නැමීමකින් තොරව සුවපහසු ලෙස ප්‍රවාහනය කළ හැකි වාහන අවම වශයෙන් එකක් හෝ තිබීම ද වැදගත් ය. ත්‍රිරෝද රථය මේ සඳහා සුදුසු නොවේ.

මේ කාලයේ දී හිරු මුදුන්වීමත් සමඟ උත්සව කාලයේ තරග ඉසව් පැවැත්වීමේදී කාලගුණය සම්බන්ධයෙන් සලකා බැලිය යුතුය. අදාළ අවස්ථාවට පෙර පවතින සහ එම අවස්ථාව අතරතුර පවතින කාලගුණික තත්ත්වයන් (තාපය, වැසි, වායු දූෂණය) නිරීක්ෂණය ද අවශ්‍ය සාධකයකි. කාලගුණ විද්‍යාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කර අයහපත් කාලගුණික තත්ත්වයන් මඟින් අවදානමක් ඇති කරන්නේ නම් අදාළ උත්සවය හෝ තරග ඉසව්ව කල් දැමීම හෝ නැවත සැලසුම් කිරීම සලකා බැලිය යුතුය. මැරතන්, ගම හරහා දිවීම, පාපැදි යනාදී තරග ඉසව් දිගු වේලාවක් පැවැත්වීම අවම කිරීම වැදගත් වන අතර මේ දිනයන්හි පවතින කාලගුණික තත්ත්වය අනුව මෙම ඉසව් උදෑසන 8ට පෙර ආරම්භ කිරීම සුදුසු වේ.

ආහාර ගැනීමත් කල්පනාවෙන්

මේ අවුරුදු කාලයේ ආහාරවලට ද වැදගත් ස්ථානයක් හිමි වේ. ඇතැම් අවස්ථාවලදී ගමන් බිමන් යාමේ දී එක් එක් ස්ථානවලින් ආහාර ගැනීම ද සිදු කරයි. එවැනි අවස්ථාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරයක් තිබුණහොත් පාචනය වැනි බෝ වන රෝග පවා වැලඳිය හැකිය. එම නිසා නිවසෙන් පිට ආහාර ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේම අවුරුදු කාලයේදී තෙල්, පිටි, සීනි සහිත ආහාර බහුල ලෙස පවතියි. ඒවා ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. එම ආහාර වැඩිපුර පරිභෝජනයෙන් බෝ නොවන රෝගයන් වන දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතියි. එම නිසා මේ අවුරුදු සමයේදී ආහාර සම්බන්ධයෙන් ද සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.

ඉහත දැක් වූ ලෙස මේ අවුරුදු සමයේ උපදෙස් අනුගමනය කිරීමෙන් සුවබර, සතුට පිරි අලුත් අවුරුද්දක් සැමරීමට ඔබට හැකි වෙනවා නොඅනුමානය. නෑදෑ ගමන් බිමන් හෝ වෙනත් උත්සව හෝ ඕනෑම ගමනක් යාමේදී බීමත්ව රිය ධාවනයෙන් වැළකීමට ද පුද්ගලයන් තරයේ සිතට ගත යුතුය. හදිසි අනතුරු සියල්ලක්ම වළක්වා ගත හැකි ඒවා නිසා ඒ කෙරෙහි අවධානය යොමු කර නීරෝගිමත් අවුරුද්දක් ගත කිරීමට අපි සැවොම සිතට ගනිමු.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහ ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමු ඇසුරිනි.

සන්ධ්‍යා කරුණාරත්න

ඡායාරූප නිරූපණ සඳහා පමණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT