Sunday, May 11, 2025
Home » ආගමන විගමනයට ගෙනා CCTV වසර 6ක් දිරන්න ඇරලා ඇතැම් නිලධාරීන් කැමරා සවි කරනවාට විරුද්ධයි

ආගමන විගමනයට ගෙනා CCTV වසර 6ක් දිරන්න ඇරලා ඇතැම් නිලධාරීන් කැමරා සවි කරනවාට විරුද්ධයි

by sachintha
April 10, 2024 1:11 am 0 comment

ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සවි කිරීම සඳහා මිල දී ගෙන ඇති සීසීටීවී කැමරා සවි නොකර වසර හයක් තිස්සේ ගබඩාවක විනාශ වෙමින් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත. ඇතැම් නිලධාරීන් මෙවැනි ආයතනවල කැමරා උපකරණ සවි කිරීමට විරුද්ධ බව ද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පසුගියදා (02) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය. එම කැමරා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන එහි ප්‍රගතිය ලබන මැයි මස 15 වැනි දිනට පෙර දැනුම් දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත. 2014 වසරේදී මිල දී ගෙන ඇති මෙම කැමරාවලට අවශ්‍ය උපාංග බොහොමයක් නැති බව ද මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත. අදාළ උපකරණ මිල දී ගැනීමට මැදිහත් වූ නිලධාරීන් මේ වන විට ස්ථාන මාරුවීම් ලබා ගොස් ඇති බව ද කාරක සභාවේදී අනාවරණය වී ඇත. මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ප්‍රසන්න රණවීර, ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, තිස්ස අත්තනායක, ජේ.සී. අලවතුවල, වීරසුමන වීරසිංහ, මධුර විතානගේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT