Sunday, May 11, 2025
Home » කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන තැත ගැන විමර්ශන අරඹයි

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන තැත ගැන විමර්ශන අරඹයි

by sachintha
April 10, 2024 1:12 am 0 comment

ටී-81 වර්ගයේ ගිනි අවියක් සහ අත්බෝම්බයක් භාවිත කරමින් කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් ප්‍රකාරව පොලිස්පතිවරයා විසින් මෙම විමර්ශනය ආරම්භ කිරීම සඳහා තම ඒකකට භාරදෙනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන මහතා අධිකරණයට බී වාර්තාවක් මඟින් මෙම කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඔත්තුකරුවකු විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ලිපියක් මඟින් කරුණු ඉදිරිපත් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම බී වාර්තාව මඟින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කිසියම් පුද්ගලයකු තවත් අයකුගෙන් දුරකතනය ඔස්සේ ගිනි අවියක් ඉල්ලා ඇති බවට අදාළ ඔත්තුකරු දුරකතන අංක ද සමඟ මෙම කරුණු වාර්තා කර තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ අනුව අදාළ සැකකරුවන් අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අනාවරණය කර ගැනීමෙන් පසු වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කරන තෙක් නඩුව බහා තබන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT