Thursday, May 15, 2025
Home » නාවලපිටියේ ලංගම බසය කන්දක හැපී සිසුන් 3ක් ඇතුළු 9කට තුවාල

නාවලපිටියේ ලංගම බසය කන්දක හැපී සිසුන් 3ක් ඇතුළු 9කට තුවාල

by sachintha
April 10, 2024 1:02 am 0 comment

නාවලපිටිය, දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනකු, මගීන් පස්දෙනකු සහ බස් රථයේ රියැදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (9) දින උදැසන 6.45ට පමණ නාවලපිටිය දොළොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය උඩුවැල්ල ප්‍රදේශයේදීය. නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමඟම බස් රථය රියැදුරු පාලනයෙන් මිදීමත් සමඟ බස් රථයේ රියැදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අබියස පිහිටි කන්දක ගැටීමට සලස්සවා බස් රථය නතර කරගෙන ඇති බවත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසීය. බස් රථය අනතුරට පත්වූ ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මීටර් 300ක පමණ අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියැදුරා බස් රථය ප්‍රපාතයට පෙරළීම වළක්වා ගනිමින් සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බවත් පොලිසිය කියා සිටියේය. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගීන් පනස්දෙනකු පමණ ගමන් කර ඇති බවත්, එම බස් රථය පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ධාවනයට එක් කර ඇති බස් රථයක් බවත්, බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබියදී නාවලපිටිය ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරීන් එම බස් රථය යළිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති බස් රථයක් බවත් නාවලපිටිය ඩිපෝවේ නිලධාරියෙක් කියා සිටියේය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT