Home » ගුරුළුපොත යොවුන් ගම්මානයේ ගම්වැසියන්ට පොදු පහසුකම්වත් නෑ ණය අරන් හදපු ගෙවලුත් ගම්මු අත්හැරලා

ගුරුළුපොත යොවුන් ගම්මානයේ ගම්වැසියන්ට පොදු පහසුකම්වත් නෑ ණය අරන් හදපු ගෙවලුත් ගම්මු අත්හැරලා

by sachintha
April 10, 2024 1:04 am 0 comment

පොදු ප්‍රවාහන සේවයක් ගන්නත් කිලෝමීටර් 4ක් පයින්ම යන්න වෙලා

යොවුන් ගම්මාන සංකල්පය යටතේ පදිංචි වීමට ඉඩමක් නොමැති යෞවන යෞවනියන් වෙත පදිංචියට සුදුසු ඉඩමක් ලබා දීමේ වැඩසටහන යටතේ 1989 වර්ෂයේදී ආරම්භ වූ හසලක ගුරුළුපොත යොවුන් ගම්මානය පසුකාලීනව රණවිරු ගම්මානයක් බවට පත් වූවත් මාර්ග හා ජල ප‍්‍රශ්නය ඇතුළු පොදු පහසුකම් නොමැතිකමින් ගම්මානයේ පදිංචිකරුවන් අපහසුතාවයට පත්ව සිටින බවත් තම ගැටලු සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් ගම්වාසීහු අදාළ අංශ වෙතින් ඉල්ලා සිටිති.

ජාතික තරණ සේවා සභාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් රන්දෙණිගල රන්ටැඹේ වනජීවී කලාපයට අයත් වනාන්තරයක්ව පැවැති හසලක ගුරුළුපොත ගම්මානයෙන් අක්කර 40ක පමණ භූමියක් යොවුන් ගම්මානය සඳහා වෙන් කරවාගෙන තිබේ.

මිනිපේ සහ උඩදුම්බර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨසවල පදිංචි යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් 37 දෙනකු ඉඩම්ලාභීන් ලෙස 1989 වර්ෂයේදී පැවැති ඉඩම් කච්චේරියකින් පසු තෝරා ගත් අතර, ඔවුන් වෙත ඉඩම් ලබා දීම 1991 වර්ෂයේ මැද භාගයේදී සිදු වූයේ අයකුට අක්කරයක පමණ වපසරියකින් යුතු ඉඩම් කොටසක් ලබා දෙන ලදී.

යොවුන් ගම්මානයට පැමිණි පළමු සාමාජිකාවන්ගෙන් අයකු වූ පී.ජී. කරුණාවතී මහත්මිය එහිදී මෙසේ පැවසුවාය.

“මෙම ගම්මානය තරුණ තරුණියන්ට භාර කරන අවස්ථාවේ පැමිණි බලධාරීන් පැවසුවේ ගම්මානයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන බවයි. එහෙත් මෙම ගම්මානයට අවශ්‍ය ජලය ඇතුළු පොදු පහසුකම් නොමැති වීම හේතුවෙන් පදිංචිකරුවන්ගෙන් බොහෝ පිරිසකට වසර දෙකක් ගත වීමටත් පෙර අඩක් ඉදිකරනු ලැබු නිවාස පවා අතහැර දමා සිය ගම්බිම් බලා පෙරළා පිටත්ව යෑමට සිදු වුණා. ඔවුන් ගම අතහැර ගියදා පටන් නිවැසියන් පදිංචි නැති ඉඩම් වල් බිහිව වන සතුන් ලගින ළඳු කලෑ බවට පත් වුණා. වර්ෂා කාලයට පමණක් ගෙවත්තේ කුමන හෝ වගාවක් කර ගන්නවා. ඒකටත් වන සතුන්ගෙන් හානි වෙනවා. මොකද මේ ගම වනජීවී කලාපයට අයත් ගමක්නේ. එයත් ගමේ පදිංචිකරුවන් වන අප දැඩි පීඩාවට පත්කරන කාරණයක්.”

එහිදී අදහස් දැක්වූ බී. නන්දාවති මහත්මිය කියා සිටියේ මෙවන් කතාවකි.

“යොවුන් ගම්මානයේ පදිංචියට පැමිණි පළමු සාමාජිකාවක් වශයෙන් මට මේ ගම ගැන සහ බලධාරීන් ගම ගැන බලන තත්ත්වය ගැන කියන්නත් කනගාටුයි. මොකද අපි මේ ඉඩම් දෙන දවසේ කියපු කතා පුස් වචන ගොඩාක් බවට පත් වුණා. යොවුන් ගමට ඉඩම්ලාභීන් ලෙස ආපු අයගෙන් අප කිහිප දෙනෙකුයි අද ඉතිරි වුණේ. අනිත් අය ගම අතහැරදාලා ඔවුන්ගේ මුල් ගම්වලට ගියා. අපට ඉඩම් දෙනකොට නිවාස අධිකාරියෙන් රුපියල් දහදාහක ණය මුදලක් දුන්නා ගෙවල් හදා ගන්න. පහසුකම් නොමැති නිසා මේ මුදලින් හදපු ගෙවල් පවා අතහැර යන්න බොහෝ අයට සිදු වුණා. ඊට පස්සේ ඒ හිස් ඉඩම් 2005 වර්ෂයේදී අක්කර කාලක වපසරියකින් යුතුව රණවිරුවන් 50 දෙනකුට බෙදා දුන්නා. පෙර පරිදිම නිවාස හදපු රණවිරුවෝත් පහසුකම් නොමැතිකම නිසා ගම අතහැර ගියා.”

ගමේ පදිංචිකරුවෙකු වන ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ක‍්‍රියාධර රංජිත් විජේසිරි මහතා තම අපහසුතා මෙසේ හෙළි කළේය.

“යොවුන් ගම්මානයේ ඉඩම් හිමි වූ පවුල් 37න් සහ රණවිරු ගම්මානයේ ඉඩම් හිමි වූ පවුල් 30 ඇතුළු සියලු පවුල් 67න් අද ඉතිරිව සිටින්නේ පවුල් 31ක් පමණයි. මොවුන්ට ද අද අනේක දුක් ගැහැට විඳිමින් සිය ජීවන ගමන ගෙනයන්නට සිදුව තිබෙනවා. මෙම ගැමියන් අද ජල ප‍්‍රශ්නය, මාර්ග ප‍්‍රශ්නය සහ ස්ථිර ආදායම් නොමැතිකම හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ගමට හරි හැටි පාරක් නැතිකම නිසා අපේ ළමයින්ට පාසලකට හෝ පෙර පාසලකට යන්න ගමේ ඉදලා කිලෝ මීටර් 4ක් විතර පයින් ගුරුළුපොත හංදියට ගිහිල්ලා එතැනින් පොදු ප‍්‍රවාහන සේවයක පිහිට පතා හසලක නගරයට යන්න සිදුව තිබෙනවා. මේ පාරේ දෙපැත්තේම නිතර වන සතුන් ගැවසෙන වනාන්තරය පිහිටලා තියෙන්නේ. එම නිසා මේ ගැමියන්ගේ ආරක්ෂාව කෙරෙහි අදාළ අංශ අවධානය යොමු කර අවශ්‍ය පහසුකම් ලබා දෙනවා නම් ඔවුන්ට කරන විශාල සහනයක් වෙනවා. අඩු තරමේ ගමට පහළින් අද පස් ගොඩකට වැහිලා ගොස් තිබෙන වළ ළිඳ හරි පිළිසකර කරලා ගමට ජලය සැපයීමට ජල ව්‍යාපෘතියක් සකස් කරලා දෙනවා නම් මොවුන්ගේ ජල ප‍්‍රශ්නයට යම් තරමක හෝ පිහිටක් වේවි.

හසලක සමූහ – ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT