රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්රන් පොරවාගෙන නවීන පන්නයේ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අය ඇතුළු තිදෙනාට 2024 අප්‍රේල් 22 දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පෙරේදා (08) සවස පොලිස් ඇපමත මුදාහැර තිබේ.
මෙසේ ඇපමත මුදාහැර ඇත්තේ නො. 17 කොරොස්වත්ත දිවුල්ගල්ල නාරම්වල ලිපිනයේ පදිංචි 38 හැවිරිදි ජයසූරිය ආරච්චිලාගේ දිනුක මධුෂාන්, එම ලිපිනයේම පදිංචි 46 හැවිරිදි හේරත් මුදියන්සෙලාගේ ගයාත්‍රී චන්ද්‍රලතා සහ නො 39 දඹගිරිගම හොරොම්බාව ලිපිනයේ පදිංචි 32 හැවිරිදි මොහන්දිරන්ලාගේ චාමර පුෂ්පකුමාර නමැති තිදෙනාය.
සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ රුපියල් ලක්ෂ විසි පහක (25,00000) මුදලක් පොලිසියට ලබා දී පලා යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ කටයුතු කරන බවද ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පෙරේදා (08) ඇල්පිටිය, කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන සෝදිසි පරීක්ෂාවකට ඇල්පිටිය පොලිසිය විසින් ලක්කළ අවස්ථාවේ අධිවේගී පිවිසුමෙන් පිටතට පැමිණි නවීන පන්නයේ මෙම කේ.ඩී.එච්. වෑන් රථය පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල සිට ගාල්ල, ඉමදූව දක්වා ගමන් කිරීමට පැමිණි බවත් කුරුඳුගහින් පිටතට පැමිණියේ තැඹිලි ගෙඩියක් බොන්නට බවත් එහිදී සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ. සැකකරුවන් පැමිණි වාහනය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත සිගරැට් පෙට්ටි 05ක් සහ මුවහත් සුදු යකඩ කඩුවක් සොයාගෙන තිබිණි.
සැකකරුවන් තිදෙනාම ඉතා විශාල වශයෙන් රත්රන් ශරීරයේ පලඳාගෙන සිටි බවත් එම තිදෙනා පැලඳ තිබූ රත්රන්වල වටිනාකම රුපියල් ලක්ෂ 60කට අධික බවත් ඇල්පිටිය පොලිසිය පවසයි. සැකකරුවන් පැලඳ සිටි රත්රන් ඔවුන්ගෙන් ඉවත් කර විශාල ප්‍රමාණයේ භාජන 03ක තැන්පත් කිරීමටද පොලිසිය කටයුතු කර තිබේ. සැකකරුවන් තිදෙනාගේ පදිංචි ප්‍රදේශයන් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරන බවත් වත්තල, කොළඹ, අනුරාධපුරය හා කහටගස්දිගිලිය ආදී ප්‍රදේශ ප්‍රකාශ කරන බවත් ඇල්පිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් පැමිණි වාහනයේ කුවේට් රටේ හා ශ්‍රී ලංකාවේ ස්ටිකර් අලවා තිබූ බවත් මොවුන් ශ්‍රී ලාංකිකයන් රට යවන ඒජන්සියක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඇල්පිටිය පොලිසිය පවසයි. සැබෑ ලෙසම පළමු සැකකරු කුවේට් රටේ දේවාලයක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව තිබෙන බවද ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක කේ.බී.එස්.බී. අතුකෝරල, පොලිස් සැරයන්වරුන් වන නාමල් කොඩිතුවක්කු (58466), චන්දන විතානාච්චි (48990) සහ පොලිස් කොස්තාපල් එච්.එම්.කේ. දිල්ෂාන් (103946) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
බළපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ