Home » රිදී තිරයේ ගැඹුරු මතකය හියුගෝ ප්‍රනාන්දු
අප්‍රේල් 12 දිනට යෙදී ඇති හියුගෝ ප්‍රනාන්දු කලා ශිල්පියාගේ ගුණානුස්මරණය නිමිත්තෙනි

රිදී තිරයේ ගැඹුරු මතකය හියුගෝ ප්‍රනාන්දු

by sachintha
April 11, 2024 1:25 am 0 comment

දිනය 1988 මැයි 22දාය. ස්ථානය ජාඇල, තුඩැල්ල රෝමානු කතෝලික සුසාන භූමියයි. සුප්‍රකට විකට සිනමා නළු ඇන්තනී සී. පෙරේරා දෙව් මවු තුරුලට යන අවසාන මොහොතයි. ඒ ඇන්තනී සී. පෙරේරා නම් විකට නළුවා සිනමාවට හඳුන්වා දුන් අපේ ජ්‍යෙෂ්ඨ නළුවකුව සිටි හියුගෝ ප්‍රනාන්දු අවමංගල්‍ය උත්සවය ඇමතුවේය.

“ඇන්තනී මට ආපු ටෙලිග්‍රෑම් එක උඹට ලැබුණේ වැරදීමකින්. ළඟදීම මමත් එහෙ එනවා. උඹට නිත්‍ය සැනසීම ලැබේවා!”

ඒ හියුගෝ මාස්ටර් නමින් හඳුනන අපේ ජ්‍යෙෂ්ඨතම නළුවාගේ, ගීත රචකයාගේ, කතා රචකයාගේ දෙබස් රචකයාගේ හැටිය. ඒ මරණයට ඔච්චම් කළ මේ අපූරු රසවතා එදා කී ඒ වචන පෙළ මට අද මෙන් මතකය. පාසලේ හතරවැනි ප්‍රමාණය තෙක් ඉගෙනුම ලැබුව ද ඔහු බොහෝ ඇසූපිරූ තැන් ඇති, ජීවිත තක්සලාවෙන් වැඩිදුර ඉගෙන ගත් එක්තරා අන්දමක දාර්ශනිකයෙකි. ඔහුගේ ප්‍රකාශය බලන්න.

සරසවිය පත්‍රය

“ඔබට ලැබෙන්න තිබෙන දෙයක් කිසිවකුට වළක්වන්න බැහැ. ඔබට නොලැබෙන දෙයක් කිසිවකුට ලබා දෙන්නත් බැහැ.”

වරක් 1975 වසරේ මම “සරසවිය” පත්‍රයට විශේෂාංගයක් ලිවීමට සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ඉල්ලීම මත රත්නපුරයට ගියෙමි. චිත්‍රපටය “රජගෙදර පරවියෝය. එදින මට නවාතැන් ගැනීමට ලැබුණු කාමරයේ කොටස්කාරයා වූයේ හියුගෝ මාස්ටර්ය. මෙය මගේ ජීවිතයේ භාග්‍යවත් අවස්ථාවක් විය. මල් පැණිවලින් සප්පායම් වෙමින් සිනමාවේ රස ‍තොරතුරු මට කී ඔහු උදේ පාන්දර 5ට පමණ කාමරයෙන් පිටතට ගියේය. ඔහු කුමක් කරන්නේදැයි සොයා බැලීමට මමත් එළියට ගියෙමි. ඔහු ව්‍යායාම කරයි.

“මම ගෙදර ඉන්න කොටත් මේ වේලාවට එළිමහනට ඇවිත් හොඳ හුස්මක් අරන් සියල්ලන්ටම යහපතක් වේවා” යැයි ප්‍රාර්ථනා කරනවා. ගෙදර හිටියනම් මගේ නෝනා දියබත් හදලා තියනවා. කලින් දා රෑ ඉතුරුවෙන බත්වලට වතුර දාලා තියලා උදේට පොල්කිරි ටිකකට රතු ලූනුයි අමු මිරිසුයි කපලා දාලා ආහාරයට ගන්නවා. ඒක දිව්‍ය ඖෂධයක්. කාලා බලන්නකෝ දීර්ඝායුෂත් ලැබෙනවා” ඔහු කීය.

චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කළේ පසුදාය. ගාමිණී ෆොන්සේකාට සහ නීටා ප්‍රනාන්දුට පසු ගිවිසුම් අත්සන් කිරීමට පසු ලැබුණු ලියුම් කවරය උඩ සාක්කුවේ දමා සිනාමුසුව මා සිටින තැනට පැමිණියේය. ටික වේලාවකට පසු කිසිවකු මාස්ටර් අසලට පැමිණ මෙසේ ඇසීය. ඔහු නිෂ්පාදන අංශයේ කෙනෙකුය.

“බලන්න මාස්ටර් මම කල්පනා කළේ මාස්ටර් සිංහල සිනමාවේ පියෙක් වගේ වටිනා කෙනෙක්. අනිත් අයට ගෙවූ ගණන මම දන්නවා. ඒ අතින් මාස්ටර්ට ලැබුණේ සොච්චම් මුදලක්.” ‘හා හා’ එහෙම කියන්න එපා, මගේ සාක්කුවට හරියන මුදලක් ලැබුණේ. ඒ ඇති. අනිත් අයගෙ සාක්කු ලොකු ඇති” හියුගෝ මාස්ටර් සිනාමුසු මුහුණින් කීවේය.

ලද දෙයින් සතුටුවන සැහැල්ලු ජීවන ක්‍රමයකට උරුමකම් කී හියුගෝ මාස්ටර්ට මා ‘සරසවිය’ කර්තෘ ධුරය දැරූ කාලයේ රණතිසර සම්මානයෙන් පිදුම් ලැබුවේය. සතියකට පසු ඔහු අප කර්තෘ මණ්ඩලය මීගමුවේ පෙරියමුල්ලේ නිවසට කැඳවා ඉහළ දිවා භෝජනයක් පැවැත්වූයේ සුපුරුදු රස කතා කියමිනි.

1912 ජූලි 14 වැනිදා මීගමුවේ පෙරියමුල්ලේ උපත ලැබූ කණුපුලගේ හියුගෝ ප්‍රනාන්දුගේ පියා වූයේ ගමේ ගෙවල් රෙපෙයාර් කිරීම නිසා සුපතළ පේදුරු ප්‍රනාන්දු බාස්ය. මව වූයේ ලියනගේ එලිසබෙත් ප්‍රනාන්දුය. පවුලේ වැඩිමලා වූ හියුගෝට මාර්තා මරිය ප්‍රනාන්දු නම් නැඟණියක් සිටියාය. දළුපත රෝමානු කතෝලික සිංහල පාසලේ ඉගෙනුම ලැබූ හියුගෝගේ පියා පලංචියකින් වැටීමෙන් පසු ඔත්පල විය. මේ නිසා අම්මා ගමේ කොහු මෝලක කොහු අඹරන්නියක ලෙස වැඩට ගියේ තාත්තා දිනකට ලැබූ ශත 60 අහිමි වීම නිසාය. ඒත්, අම්මාට දිනකට ලැබුණේ ශත 20ක් නිසා ඔහුට පාසල් ගමන එපා විය. මුලදී ඔහුට සෙනසුරාදා හා ඉරිදා කොහු ඇඹරීමෙන් ලැබුණේ ශත 15කි. මේ නිසා කොහු මෝලට ගිය කුඩා වියේ සිටි ඔහුට දිනකට ශත 15ක් උපයාගත හැකිවිය.

හියුගෝගේ ජීවිත ගමන ද ඔහු විසින් පසු කලෙක ලියූ චිත්‍රපට කතාවක් සේ විචිත්‍රය, ත්‍රාසජනකය. 1983 වසරේ සිඩ්නි මාකස් ඩයස් ලියූ “හියුගෝ ප්‍රනාන්දු සහ සිංහල සිනමාව” නම් ඔහු ගැන ලියූ කෘතියේ මේ බව කදිමට විස්තර වෙයි.

කොහු මෝලේ වැඩ නතර වූ පසු ඔහු ත්‍රිකුණාමලයේ කුකුලාව නම් ගමේ ධීවර පිරිසකට එක් වී එතැනින් මුලතිව් සිට සැතපුම් 24කට එහා තිබූ ආලම්බල නම් ගමේ ධීවර පිරිසකට එකතු විය. පසු කලෙක ඔහුට (“ධීවරයෝ” චිත්‍රපටයේ දෙබස් ලිවීමට ලැබිණ) එය ද ඔහුගේ හිතට ඇල්ලූ නැති නිසා මිත්‍රයකු සමඟ හිරියාලේ දුම්කොළ ගාලකට ගොස් ඇත. එහි වූයේ උයන පිහන වැඩය. ජීවිතේට කෑම උයා නැති ඔහුගේ නීරස කෑම නිසා ඔහුට හිමි වූයේ ගුටි පූජාවකි. පුත්තලමේ වත්තක කංකානම් වැඩ කළ ඔහු ඊට අමතරව උයන පිසින කාර්යයත් කර ඇත. තම අතීත කතාව ඔහු වරක් විස්තර කළේ මේ ආකාරයටය. “මට ඉංග්‍රීසි උගන්වන බව කියමින් ගුරුවරයෙක් මාව කොටහේනට ගෙන ගියා. ගුරුවරයාගේ නිවස තිබුණේ කොට‍හේනේ මහ පල්ලිය පිටුපස. එහිදී මට උදේ, දවල් බත් ඉවීමත් හවසට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ලැබුණා. ඒ මාස්ටර්ට ඌගෝ කියලා උච්චාරණය කරන්න බැරි නිසා ‘හියුගෝ’ කියල නම වෙනස් කළේ මාස්ටර්ගේ ප්‍රියතම ප්‍රංශ ජාතික ලේඛකයා වූ වික්ටර් හියුගෝ නිසයි. පසුකලෙක මේ ලේඛකයා ලියූ ‘මිසාර්බල්’ නවකතාව ඇසුරින් ඔහු ලියූ ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ දෙබස් ලියා රඟපෑමත් තවත් විශේෂයක්.

“මම වයස 16දී මේසන් බාස් කෙනෙකු ළඟ සහායක ලෙස වැඩ ‍ඉගෙන ගන්න ගියා. උන්නැහේ මට සාස්තරේ කියා දුන්නේ නැහැ. එදා මම හොඳ මේසන් බාස් කෙනෙකු වුණා නම් සිනමාවට හියුගෝ කෙනෙක් නැහැ. අර මේසන් බාස් අසරණව සිටි අවස්ථාවල මම පිහිට වුණා.

හියුගෝගේ ජීවිත ගමන වෙනස් වෙන්නේ දක්ෂ සර්පිනා වාදකයකු වූ මලතියස් මාස්ටර් නිසාය. ඔහුගේ සූර සර්පිනා වාදනය ඇසීමට හැම තැනකටම ගිය හියුගෝගේ උනන්දුව දුටු මාස්ටර් ඔහුට සංගීතය ඉගැන්වීමට සිතුවේය. ඊළඟට හියුගෝ ඕගනය, ජපන් මැන්ඩලීනය ගෙන ගමේ සංගීත සාජ්ජවලට සහාය විය. 1934 ගුවන්විදුලියෙන් ඔහුගේ මුල්ම වාදනය ප්‍රචාරණය විය. හියුගෝ 1935 වසරේ මාමා කෙනෙකු සමඟ මනාලියක් බැලීමට හලාවතට ගියේය. ඇගේ නම එලිසබෙත් ප්‍රනාන්දුය. තම මවටත් ඒ නමම තිබීම නිසා ඇය කරකාර බැඳගැනීමට එය එක් හේතුවක් විය. විවාහ වූ දවසේ මනාලිය සමඟ යනවිට කතා කළ මුල්ම දෙබස සිඩ්නි මාකස් ඩයස් සිය කෘතියේ මෙසේ දක්වා තිබිණ.

“අයිය ආව ද”

“ඉස්සර කාර් එකේ එන්නේ”

මා ළඟ ඇපල් මුද්දරප්පලම් බෑග් එකක් තියනවා.

“ආ”

“එපා”

“නෑ කන්නම ඕනෑ”

ඇය එකම එක මිදි ගෙඩියක් කඩා ගත්තාය. ඉතිරි මිදි ටික ඔහුටම කන්නට සිදුවිය.

පසු කලෙක ‘ප්‍රේම තරගය’, ‘අහංකාර ස්ත්‍රී’, ‘මාතලන්’, ‘දොස්තර’, දුප්පතාගේ දුක’, ‘සූරයා’, ‘වන මෝහිනී’, ‘ධීවරයෝ’, ‘අල්ලපු ගෙදර’, ‘රුහුණු කුමාරි’, ‘සුළි සුළං’, ‘සුරේඛා’, ‘හරියට හරි’, ‘අලි බබා’ සහ හොරු හතළිහ’ වැනි ජනප්‍රිය චිත්‍රපටවල දෙබස් ලිවීමට පෙර පුහුණුව ලැබුවේ තම මනාලිය හා පැවැත්වූ මුල්ම දෙබස පූර්වාදර්ශයට ගෙන ද? එදා ප්‍රේම තරගය චිත්‍රපටයට ඔහු ලියූ ‘අලි වැඩේ’, ‘පණ ගියා’ වැනි දෙබස් මා කුඩා කාලයේ වැඩිහිටියන් අතර අතිශයින් ජනප්‍රිය වී තිබුණි. මගේ ලොකු අම්මාගේ කටේ තිබුණේ මේ දෙබස් ඛණ්ඩ දෙක බව මට හොඳට මතකය.

‘පෙරියමුල්ලේ පල්ලියක මංගල්‍යයක රඟ දැක්වූ ළමා ක‍තෝලික නාට්‍යයක සර්පිනා වාදනයෙහි හියුගෝ ගේ දස්කම් දුටු මීගමුවේ මිනර්වා නාට්‍ය රචක බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න පැහැදී තමා විසින් වේදිකා ගත කළ ‘අවතාරය’ නාට්‍යයේ සංගීතය මෙහෙයවීමට ‍ඔහුව ‍තෝරාගත් අතර නාට්‍යයේ දර්ශන මාරුවන විට රුක්මණී දේවි ගැයූ ‘සිරි බුද්ධගයා’ ගීතයේ මුල්ම සංගීතඥයා වූ රූපසිංහ මාස්ටර්ට නොදෙවැනි ලෙස සංගීතය මෙහෙයවීම කාගේත් ප්‍රසාදයට හේතු විය. නළුවෙකු වීමට ඔහු සිතුවේ ටවර්හෝල් නළුවන් වූ රොමානිස් පෙරේරා, ටී. බී. අල්මේදා වැනි කෙනෙකු වීමටය.

“ ඒ කාලයේ පාසලේ හිටිය දක්ෂ කවිකාරයා මම. මට එතරම් හොඳ කටහඬක් තිබුණා. මට වේදිකා‍වේත් රඟපාන්න ලැබුණා. මීගමුවේ ප්‍රනාන්දු ගුරුතුමා නිෂ්පාදනය කළ ‘ශ්‍රීමතී ලියනෝරා’, ‘ස්වර්ණතිලකා’ නාට්‍යවල රඟපෑවා කියන්න ලැජ්ජයි. මා ඒවා‍යේ රඟපෑවේ ගැහැනු චරිත. මිනර්වා නාටක වූ ‘කපටි ආරක්ෂකයා, ‘වැරදුණු කුරුමානම’, ‘උමතු විශ්වාසය’, ‘සැඟවුණු පිළිතුර’ ආදියේ මා ගීත පබැදුවා. නළු නිළි පුහුණුවත් ගීත පුහුණුවත් මා අතින් සිදු වුණා.”

1946 මුල්ම කථා නාද චිත්‍රපටය තැනීමට මදුරාසියට ගිය හියුගෝ, චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධ කරමින් බී. ඒ. ඩබ්ලියු වෙනුවෙන් ද රුක්මණී දේවි සමඟ ගීත ගැයුවේය. ඉන්දියාවේ නාරයන අයියර් සංගීතවත් කළ මේ චිත්‍රපටයේ වෙ‍ළඳ තැටි සඳහා ඔහු වෙනුවට ස්ටැන්ලි මල්ලවාආරච්චි ගී ගයා ඇත. හියුගේ නළුවකු වන්නේ අහම්බෙනි. ගීත ප්‍රබන්ධය සඳහා මදුරාසියට ගිය හියුගෝට සෙට්ටියාර්ගේ චරිතය රඟපෑමට ලැබෙන්නේ ඒ සඳහා ‍තෝරාගෙන සිටි එඩී යාපාට මදුරාසියට ඒමට රැකියාවෙන් ඉඩක් නොලැබුණු නිසාය. මුල්ම සිංහල කථානාද චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධයටත් රඟපෑමටත් එකවර ලැබුණු මුල්ම නළුවා හියු‍ගෝය.

රට පුරා ප්‍රසංග

1947 පී. එස්. කුලරත්න මහතාගේ සිරිලක් ලිමිටඩ් නාට්‍ය කණ්ඩායමට බැඳුණු හියුගෝ 1950 ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා’ නාට්‍යයේ සර්පිනා වාදනය කරනු බලා සිටි දක්ෂ නළුවකු වූ ලැඩී රණසිංහ තමාගේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂ ලෙස ‍තෝරාගෙන ඇත. ශාන්ති කුමාර් සෙනවිරත්නගේ නැටුම් කණ්ඩායමේ සර්පිනා වාදකයා ලෙස හියුගෝ රට පුරා ප්‍රසංගවලට සහභාගි වූ අතර ඔහුට තබ්ලා වාදනයෙන් සහය වී ඇත්තේ ජනප්‍රිය ගායක මිල්ටන් පෙරේරාගේ පියා වූ පොඩි අප්පුහාමිය. නායගම් කඩවුණු පොරොන්දුව නිපදවීමට පෙර සිලෝන් තියටර්ස් සමාගම වෙනුවෙන් කිරීමට නියමිතව තිබූ ‘මයි ඩෝටර්’ චිත්‍රපටයට ඔහුව තෝරා සිටියත් එය අතරමග නතර විය. ඉන්පසු ඔහු ගමේ මලතියස් මාස්ටර් ලියූ ‘ගැහැනු හිත’ නාට්‍යය නිෂ්පාදනය කළේය.

‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ලියූ ගීත අතර ‘සන්ධ්‍යාවේ ශ්‍රිය’, ‘ළපටි රූපේ ඈගේ’ , ‘මාගෙ සක බමරෙ’ ගීත ජනප්‍රිය විය.

නායගම් නිෂ්පාදනය කළ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපට කතා පිටපත භාරව කටයුතු කළ හියුගෝ, චිත්‍රපට අධ්‍යක්ෂ ඒ. බී. රාජ්ට සිංහල භාෂාව ද ඉගැන්වීය. ඔහු මුල්වරට දෙබස් ලියමින් ප්‍රධාන චරිතයක් රඟපෑවේ ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයේය. එපමණක් නොව ඔහු එහි ගීත රචකයා ද විය. ඒ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වූයේ ආර්. මුත්තුසාමි සංගීත අධ්‍යක්ෂණය කළ ලතා හා ධර්මදාස වල්පොළ ගැයූ මේ ගීතයය.

අහංකාර ස්ත්‍රී

“හොඳ හොඳම ‍වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිනුවේ

හිත ඊර්ෂයාමාන ගති නැති නිසාම අපි

ප්‍රේම තර‍ගෙ දිනුවේ”

ඊට අමතරව එම චිත්‍රපටයේ එන “උගත්තු වියත්තු ලොවේ පැසසුම් ලබයි” (ගායනය – ලතා) ‘සැපත ස්වර්ගේ’ (ලතා – ධර්මදාස) ‘හෝ හඬ දී බැස යන ගංගා’(ලතා) ‘අලි වැඩේනෙ වෙන්න ගියේ’ (හියුගෝ – රුද්‍රානි) ගීත ජනප්‍රිය විය. ‘පිටිසර කෙල්ල’(1953) හා සරදියෙල්(1954) චිත්‍රපටවල ද ගීත නිබන්ධනය කළේය.

“අහංකාර ස්ත්‍රී(1954) චිත්‍රපටයේ ඔහු රචනා කළ ගීත අතරින් ගීත පහක් ජනප්‍රිය වී ඇත. සංගීත අධ්‍යක්ෂණය ආර්. මුත්තු සාමිය. ගායනය ලතා හා ධර්මදාස යුවළය.

‘ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ

බඹරෙක් එය පිළිකුල් කරන්නේ

සෝබා ධර්මෙට නිගා දෙවන්නේ’

ධර්මදාස වල්පොළ ගැයූ ‘ජීවිතේ විකාරයකි’ දුක් පිරී මහා හෙළකි, ලතා ගයන ‘ප්‍රේමයෙ චන්ද්‍රයා’ යැයි බැසා මා හද’ ඒ.එම්.රාජා ගැයූ ‘ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි’ ලතා සහ කේ. රාණි ගැයූ ‘හද ගලවලා දෙනවා කියලා අප රවටා’ සෙසු ගීතයි.

ආර්. සුදර්ශනම් සංගීත අධ්‍යක්ෂණය කළ ‘දොස්තර’(1956) චිත්‍රපටයට ලියූ ලතා ගයන ‘දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ’ පී. සුසිලා ගැයූ ‘තායම් මායම් හොඳ හිත හන්දා’, ඒ. එම්. රාජා ගැයූ ‘ගෙයක් ගානේ වැඩපළ කර ඉඳලා කාටද ඵලක් වුණේ’ ගීත ද ඔහු විසින් රචනා කරන ලදි.

හියුගෝ ප්‍රනාන්දු ගීත රචකයකු ලෙස කැපී පෙනුණ තවත් චිත්‍රපට කිහිපයකි. ශූරයා(1957) ,වීර විජය(1960), ඇමතිකම තමා දෙබස් රචනා කරමින් රඟපෑම සඳහා මසකට රුපියල් 750ක වැටුපක් ද රු.2000ක අත්තිකාරම් මුදලක් ද ලැබූ බව හියුගෝ මාස්ටර් මට පවසා ඇත. හියුගෝට දරුවන් හය දෙනෙකි.

හියුගෝ මාස්ටර් තම අවසාන කෘත්‍යයට උපදෙස් දී තිබුණේ මියයාමට කලකට පෙරය. ඒ 1987.12.08 දිනය යි. ඉන් 12 වසරකට පමණ පසු 1999 අප්‍රේල් 12 වැනිදා ඔහු මිය ගියේය.

ඒ.ඩී.රංජිත් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT