Tuesday, May 13, 2025
Home » ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදීන්ට ඉඩ නොතබමු – පලස්තීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදීන්ට ඉඩ නොතබමු – පලස්තීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති

by sachintha
April 11, 2024 1:16 am 0 comment

ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බව රාමසාන් දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් පලස්තීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ෆවුසාන් අන්වර් මහතා ප්‍රකාශ කරයි.

එම සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළුතර කණ්ඩායමකට ඉඩ තැබිය යුතු නැතැයි පෙන්වා දෙන ඒ මහතා රාමසාන් දිනය මුස්ලිම් ජනතාව මහත් ඉහළින් සමරන බවද ඉස්ලාම් ආගමට අනුව මෙය සිවු වැනි අංගය වී තිබෙන බව ද පෙන්වා දෙයි.

“ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමඟ රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන අපේ රටේ ඉස්ලාම් බැතිමතුන් වෙත මගේ සුබපැතුම් පිරිනමනවා. ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළැඹෙන ඊදුල් ෆීතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයක් වෙනවා.

ඉස්ලාම් ධර්මය ගොඩනැඟී ඇති කුලුනු පහෙන් එකක් වන අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීමයි. ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමතුන් සලකනවා.

ශ්‍රී ලංකාවට සහ ලක්වාසී සැමට සාමය, නීරෝගීභාවය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරනවා. පසුබෑමට ලක්ව තිබෙන අපේ රට ඉදිරියට රැගෙන යෑම අවශ්‍ය වී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍යයි. සෑම ජාතියකටම සාමයෙන් හා සමඟියෙන් ජීවත් වියහැකි තත්ත්වයක් නිර්මාණය කළයුතුයි. ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම ලෝවැසි සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

රාමසාන් සමයේ ඉස්මතු කෙරෙන හර පද්ධතීන් ගිනිගෙන දැවෙන ලොවට සිසිලක් වේවා යන අපේක්ෂාවෙන් යුතුව සියලුම ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට මෙන්ම ලොව පුරා ඉස්ලාම් ලබ්ධිකයන්ට ප්‍රීතිමත් ඊදුල් ෆීතර් උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරනවා යැයි පැවසීය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT