මැයි මස 31 වැනිදා වන විට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම හරියාකාරව සිදුනොවූ පළාත්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ පළාතේ රාජකාරි කළ නොහැකි බවත්, ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කළ යුතු බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (21) නුවරඑළියේ පැවති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට විශේෂිත පුහුණුවක් සහිත යතුරුපැදි 100කින් සමන්විත කණ්ඩායමක් ඉදිරියේදී යුක්තිය මෙහෙයුමට සමගාමීව යෙදවීමට කටයුතු කරනවා.
මේ අමාත්‍යාංශය භාරගන්නකොට මට තිබු එකම අභියෝගය තමයි මේ රට නිවන එක. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ පාරවල්වල යන්න බෑ, එක එක ගම් පිහිටුවාගෙන. එකම විදේශිකයෙක්වත් මේ රටට ආවේ නෑ. ඔබ සියලු දෙනාම ගෑස් පෝලිම්වල,පෙට්‍රල් පෝලිම්වල. අන්න එවැනි තත්ත්වයක් තමයි තිබුණේ. ඒ වෙලාවේ මම තීරණය කළා, ඒ තත්ත්වය වෙනස් කරන්න දැඩි තීරණ ගන්න ඕනෙ කියලා. එහෙම තමයි මහ පාරේ තිබූ අරගලය මම ඉවර කළේ. ඔබ සියලු දෙනාට තිබූ අමාරුකම් මම දැනගෙන හිටියා. නමුත් ඒකට විරෝධය ප්‍රකාශ කරන වෙලාවේ ඒකෙන් දේශපාලන වාසි ගන්න බැලුවා. එක එක චණ්ඩිකම් කරන්න බැලුවා. ඒ දේවල්වලට ඉඩ තියන්න මට හැකියාවක් තිබුණේ නෑ. අපි රට සමනය කළා.
ආර්ථිකය ගොඩ ගන්න එක ජනාධිපතිවරයා භාර ගත්තා. අපි එහෙම කළේ නැත්නම් සමහර විට ඔබ සියලු දෙනා තවමත් ගෑස් පෝලිම්වලයි පෙට්‍රල් පෝලිම්වලයි. මට ඊළඟට තිබු ප්‍රශ්නය තමයි මේ රටේ කුඩු ප්‍රශ්නයයි, පාතාලයයි. පොලිස්පතිවරයා පත්වෙන්න මාස හයකට විතර කලින් ඒ මහතාගේ සභාපතිත්වයෙන් මම කමිටුවක් පිහිටෙව්වා. එම කමිටුවට මම කිව්වේ මුළු රටේම තත්ත්වය අධ්‍යයනය කර මට කියන්න කියලා. අපි ඒක මාස හයක් විතර කළා. ඒ වෙලාවේ මට අවශ්‍යව තිබුණා මෙතුමාව පොලිස්පති බවට පත්කරන්න. මෙතුමා පොලිස්පති ධුරයට පත් වෙනවාට විරෝධය පෑවේ මේ වැඩ කටයුතු ටික හරියට කරගෙන යනවාට අකමැති උදවිය. කොහොම හරි අපි මෙතුමාව පොලිස්පති ධුරයට පත් කරගෙන ඊට පසු මම මෙතුමාට කිව්වා, මට එක දවසක මුළු දකුණු පළාතම ආවරණය වන පරිදි මෙවැනි සම්මන්ත්‍රණ තියන්න ඕනෙ කියලා. අපි පසුගිය දෙසැම්බර් මස 16 වැනිදා මෙවැනි සම්මන්ත්‍රණ හතරක් දකුණු පළාතේ තිබ්බා. එහෙම තියලා තමයි අපි රටට දැනුම් දෙන්නේ පහුවදා ඉඳන් අපි යුක්තිය මෙහෙයුම පටන් ගන්නවා කියලා. ඔබේ ප්‍රදේශයේ කුඩු අඩු වෙලාද පාතාලේ අඩු වෙලාද කියලා ඔබ හොඳටම දන්නවා දැන්.
අපි ඉස්සර ප්‍රජා පොලිස් කමිටු පිහිටවූ විදිය මම වෙනස් කළා. එයත් මම භාර දුන්නේ වත්මන් පොලිස්පතිවරයාට. ඒක අපි අවසන් කළේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ. හැබැයි දැන් පොලිස්පතිතුමා මට කිව්වා, ප්‍රජා කමිටු පිහිටුවීම හරියට සිදු වෙලා නෑ කියලා. මං අද පොලිස්පතිවරයාට කියනවා මැයි මස 31 වැනිදා වෙනකොට මේ වැඩේ හරියට සිදු කර නැති පළාත්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් කරන්න ඕනෙ කියලා. අපට වුවමනා වුණේ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා ඔබ සියලු දෙනා සමඟ එකතු වෙලා මේ වැඩේ හරියට කරන්න. සතුටුයි, මේ වෙනකොට විශාල වෙනසක් පෙන්වා තියෙනවා. හිතන්න එපා මේක හරි ලේසි වැඩක් කියලා.
අපි මේ සියලු දේවල් කරන්නේ අපටත් ජීවිත තර්ජන තියාගෙන. මට ලියුම් එවනවා. කෝල් එනවා. එවැනි තර්ජන මැද අපි මේ දේ කරන්නේ ඔබ වෙනුවෙන්. ඔබේ දූ දරුවන් වෙනුවෙන්. ඔබලාගේ පවුල් වෙනුවෙන්. අපි දන්නවා ලංකාවේ පවුල් කොච්චරක් කැඩිලා තියෙනවද මේ කුඩු ප්‍රශ්න හින්දා කියලා. අම්මලාට කිසිම දෙයක් තියාගන්න බෑ, ඒක විකුණනවා. තමන්ගේ දරුවාට පවුලට රටට ආදරේ නම් අපත් එක්ක එකතු වෙන්න. මේ වැඩ කටයුතු කරගෙන යන්න අපට උදව් කරන්න. ”
මේ අවස්ථාවට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් 1500ක පමණ පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයන් 05 දෙනකුට රෝද පුටු පරිත්‍යාග කිරීම සහ පාසල් සිසුන් කිහිප දෙනකුට පාසල් උපකරණ බෙදා දීමක් ද සිදු කෙරිණි.
මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීහු එක්ව සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත