Saturday, May 17, 2025
Home » මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය ගැන ජාත්‍යන්තරයේ පැසසුම් – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය ගැන ජාත්‍යන්තරයේ පැසසුම් – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by sachintha
April 23, 2024 2:31 am 0 comment

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ ජාත්‍යන්තර පැසසුම් මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ 2024 වසර මැද රැස්වීම් සාර්ථකව අවසන් වූ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ තීරණාත්මක රැස්වීම්වලදී ධනාත්මක ප්‍රතිඵල ගත් අතර, එය අපගේ රටට නව අධිෂ්ඨානශීලී ගමන්මඟක් සහ බලාපොරොත්තුවක් සනිටුහන් කළ බව ද සමුළුවට එක්වූ රාජ්‍ය ඇමැතිවරයා අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද පැවැසීය.

“ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වයේ ළඟා කරගෙන ඇති ප්‍රගතිය අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් රටේ අභිවෘද්ධියට සැලකිය යුතු ප්‍රගතියක් ලෙස පිළිගෙන තිබෙනවා. ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ අගය කළා.

මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ දැනට ක්‍රියාත්මක වන පාලන ප්‍රතිසංස්කරණ එහිදී අගය කළා. ඵලදායී ද්වි-පාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට අවස්ථා රැසක් සමුළුව අතරතුරදී උදා වුණා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දීම අගය කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක ළඟා කරගැනීමට කටයුතු කරනවා. ණය තිරසරභාවය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සංසන්දනාත්මක බව සහතික කරන සාර්ථක ණය නිරාකරණයේ ප්‍රගතියක් අත්කර ගත හැකි බව සියලු පාර්ශ්ව විශ්වාස කරනවා.

මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් මිදීමේදී ශ්‍රී ලංකා රජයට යහපත් භාවිතයන් ඇතුළත් ශක්තිමත් තීරණාත්මක තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීමේදී සහයෝගය දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු ඇතුළු බහු-පාර්ශ්වීය පාර්ශ්වකරුවන්ට සහ ගෝලීය හවුල්කරුවන්ට අපගේ කෘතඥතාව පුද කරනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ජනතාව ඉවසිලිමත්ව සහ අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගෞරවය පුද කරනවා.”

මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT