ශක්තිමත් පුද්ගල සබඳතාවලින් අපේ මිත්‍රත්වයේ ගැඹුර අවධාරණය කරනවා
ශ්‍රී ලංකාව ඔරොත්තුදීමේ ගුණයෙන් පරිපූර්ණ ජනතාවක් සිටින රටක්
අපට අවශ්‍ය ශ්‍රී ලංකාව දියුණු රටක් විදිහට නැඟී එනු දැකීමටයි
USAID දිගින් දිගටම ශ්‍රී ලංකාවට සහය දෙනවා
නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ශ්‍රී ලංකාව මේ වනවිට ලොව සෑම රටක් සමඟම මිත්‍ර සබඳතා පවත්වාගෙන යෑමට සමත්ව තිබේ. ඒ අතර ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75 ක් පමණ වේ. එදා මෙදාතුර අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සහයෝගය, දෙරට අතර සබඳතා පවත්වාගෙන යාම මෙන්ම ශ්‍රී ලංකා – අමෙරිකා සබඳතා ප්‍රවර්ධනය කිරීමෙහිලා ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චැන්ග් මහත්මිය සමඟ කළ සංවාදයයි මේ.
ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා හා මිත්‍රත්වයට වසර 75 ක් සම්පූර්ණ වෙනවා. දෙරටේ සබඳතා ආරම්භයේ සිට මේ දක්වා විකාශනය වී ඇත්තේ කෙසේ ද ?
මේ සුන්දර රටේ මා චාරිකා කරන විට ශ්‍රී ලාංකික ජනතාව මා සමඟ බෙදාගන්නා කතා සහ මතකයන් එමටයි. ඒවා 1948 දී එක්සත් ජනපදයත්, ශ්‍රී ලංකාවත් අතරේ සම්බන්ධතා ආරම්භ කළ කාලයේ පටන් දෙරට එක්ව වැඩ කර ඇති අන්දම විදහාපානවා. ඒවා මගේ සිතට තදින්ම වැදුණු බව මුලින්ම මා සඳහන් කළ යුතුයි. 2023 වසරේ දී අපි සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් 75 වසරක එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය සැමරුවා. ගත වූ දශක ගණනාව තුළ අපට පොදු වටිනාකම් වගේම අප දෙපාර්ශ්වයම උනන්දුව දක්වන කරුණු පිළිබිඹු කරමින් දෙරට අතරේ ඇති බැඳීම ශක්තිමත් වී තිබෙනවා. කොහොම නමුත් වර්තමානයේ දී වඩාත්ම කැපී පෙනෙන දෙයක් වී ඇත්තේ මේ දශක ගණනාව මුළුල්ලේ ඇති වූ ශක්තිමත් පුද්ගල සබඳතායි. ඒවායින් අපේ මිත්‍රත්වයේ ගැඹුර අවධාරණය කරනවා.
ශ්‍රී පාදය කරුණා කිරීමට ශ්‍රී ලාංකික ජනතාව සමඟින් සම්බන්ධ වන්නට අපූරු අවස්ථාවක් මට ලැබුණා. එක්සත් ජනපදයට ශ්‍රී ලාංකික ජනතාව සමඟින් ඒ කන්ද තරණය කරන්නට වුවමනා බවත් ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් ඇතැයි අපි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවේ ජනතාව දන්නවා ඇතැයි මා සිතනවා. මේ රට හිතවත්කමින් පිරුණු, හාස්‍ය රසය අගය කරන, ඒවගේම ඔරොත්තුදීමේ ගුණයෙන් පරිපූර්ණ ජනතාවක් සිටින රටක් බව මේ රටේ ගත කළ කාලය තුළ මට දැනුණු ප්‍රධානතම දෙයක්.
ඉදිරියටත් දෙරටේ සබඳතා අඛණ්ඩවම පවත්වාගෙන යාම සඳහා රජයන් විසින් ගන්නා ක්‍රියමාර්ග මොනවා ද ?
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගන්නා එක් වැදගත් පියවරක් වන්නේ මෙරටට දායකවන්නට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අෙමරිකානුවන් සමඟ සම්බන්ධ වීමයි. 2023 දෙසැම්බරයේ මම අලි සබ්රි විදේශ ඇමැතිවරයාත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයේ ක්‍රිෂ්ණමූර්ති තානාපතිතුමාත් සමඟ උත්සවයක් පැවැත්වූවා. තානාපති මහින්ද සමරසිංහ මහතා ද ඒ සඳහා අතථ්‍ය ක්‍රමයට සහභාගි වූවා. අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ සිදුවීමක් වශයෙන් ඔවුන්ගේ ප්‍රජාවන්ට ආපසු යමක් ලබාදීමට වෙරවෑයම් කරන අද්විතීය ශ්‍රී ලාංකික අෙමරිකානුවන් කිහිප දෙනෙකු පිළිබඳ අපි කතා කළා. ලබන මාසයේ මම නිව්යෝර්ක් නුවර ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ප්‍රජාවන් හමුවන්නට ගොස් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය උදෙසා සම්බන්ධ වන්නැයි ඔවුන් දිරිගන්වන්නට අදහස් කරගෙන ඉන්නවා.”
කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්වුණා. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය ලබාදීම වෙනුවෙන් අමෙරිකාව ලබාදී තිබෙන සහයෝගය කුමක් ද ?
එක්සත් ජනපදයත් එහි ජනතාවත් ශ්‍රී ලංකාවට උදව් වුවමනා කළ මොහොතේ උදව් දෙන්නට හැකිවීම ගැන ආඩම්බර වෙනවා. අපට අවශ්‍ය වන්නේ මේ මෑතකාලීන දුෂ්කරතාවලින් මිදී ශක්තිමත්, සෞභාග්‍යවත් සහ දියුණුව ලබන රටක් විදිහට ශ්‍රී ලංකාව නැඟී එනු දැකීමටයි.
අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී යල කන්නයේ වගාව සඳහා ශ්‍රී ලංකාව පුරා කුඩා වතු හිමියන් මිලියනයකට අධික පිරිසකට ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබා දීම ඇතුළුව ඩොලර් මිලියන 270කට කට අධික ඍජු ආධාර අෙමරිකානු ජනතාව ලබා දුන්නා. 2022 දී මෙරට ආහාර අනාරක්ෂිතභාවය අතින් ඉහළම මට්ටමක සිටිය දී ශ්‍රී ලාංකිකයින් මිලියන දෙකකට අධික පිරිසක් ඉන් මුදා ගන්නට අනෙකුත් පරිත්‍යාගශීලී හවුල්කරුවන්ගේ සහයෝගය සමඟින් අප ලබාදුන් පොහොර ආධාරය උපකාරි වුණා. මීට අමතරව සේව් ද ච්ර්ල්න්ඩ් සංවිධානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් අපි පාසල් දිවා ආහාර වේල් වැඩසටහනට සහය දෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය ලබාදී තිබෙන සහයෝගය කෙසේ ද ?
අමෙරිකානු ජනතාව 1956 සිට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබා දී ඇති සංවර්ධන සහය ඩොලර් බිලියන 2 ඉක්මවනවා. රට පුරා කුඩා ගොවීන්ට ලබා දුන් ටී එස් පී පොහොර ආධාරයට අමතරව අපි ගොවීන්ට එක් වරක් පමණක් ලබාදෙන මුදල් ආධාරයක් ද ලබාදෙමින් තම ජීවිකාව අඛණ්ඩව කරගෙන යාම හරහා රටට ආහාර සැපයීමේ කර්තව්‍යයට උර දෙන්නට අපගේ සහය ලබා දුන්නා. ඊටත් වඩා එක්සත් ජනපදය USAID හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ දීර්ඝකාලීන මිතුරකු වී තිබෙනවා. 1950 ගණන්වලදී දුම්රිය ධාවනය සඳහා යන වියදම අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින්, ඩීසල් බලයෙන් ධාවනය කරන එන්ජින් බවට පරිවර්තනය කරගන්නට USAID සහය ලබාදුන්නේ රට පුරා ගමනාගමනය වඩාත් කාර්යක්ෂම කරගැනීමට මඟපාදමින්.
2004 දී සිදුවූ ඛේදජනක සුනාමි උවදුරින් පසුව පාසල්, තිස්ස දිසා රෝහල වැනි රෝහල් යනාදිය නැවත ගොඩනැගීමට සහය දුන්නේ සුනාමි ආපදාව හේතුවෙන් අවතැන් වූ 300,000කට අධික පිරිසකට උපකාර කරමිනුයි. සංචාරක සංවර්ධන අධිකාරිය සමඟින් හවුල් වී, අර්බුදය අතරතුර රටේ සංචාරක කර්මාන්තය නැවත පණගැන්වීමට සහය දීම වැනි ක්‍රියාමාර්ග හරහා USAID දිගින් දිගටම ශ්‍රී ලංකාවට සහය දෙනවා.
විවිධ ක්ෂේත්‍ර සඳහා අමෙරිකාවේ සහය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එම එක් එක් ක්ෂේත්‍ර කවරේ ද ? ඒ වෙනුවෙන් වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණය කොපමණ ද ?
ශ්‍රී ලංකාවට ලබාදෙන එක්සත් ජනපද සහය ගැන කතා කරන විට මා ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක, සංස්කෘතික සහ ආර්ථික ක්ෂේත්‍ර පෝෂණය කරන්නට අපේ හවුල්කාරීත්වයෙන් ලැබූ ප්රත්යක්ෂ ප්‍රතිඵල සහ බලපෑම ගැන අවධානය යොමු කරන්නට කැමතියි. කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, ශිල්ප හෝ ධීවර කර්මාන්තය වේවා රට පුරා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සමඟින් අපි වැඩ කරනවා. මේ අවුරුද්දේ මගේ අවධානයට ආ තවත් මුලපිරීමක් නම් දියබත් වූ ගොඩවාය නෞකාවේ සංරක්ෂණයයි. මෙය ආසියා ශාන්තිකර කලාපයේ හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නෞකාවයි. සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එ.ජ. තානාපති අරමුදලේ සහය ඇතිව අපි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍රීය පුරාවිද්‍යා ඒකකය සමඟින් හවුල් වී සංරක්ෂණ සහ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සිදු කරනවා. මීටර් 33ක් ගැඹුරේ මුහුදු පත්ලේ ඇති මේ නෞකාව නැරඹීම සඳහා මාත් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි රසික මුතුකුමාරණ මහතා සමඟින් එම ස්ථානයට කිමිදුණා.
දෙරටේ ආරක්ෂාව සහතික කිරීමෙහිලා අනුගමනය කරන වැඩසටහන් මොනවා ද ?
ශක්තිමත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා සහය දෙන්නට එක්සත් ජනපදය තදින්ම කැප වී සිටිනවා. අප පරිත්‍යාග කළ එ. ජ. වෙරළාරක්ෂක යාත්‍රා තුනක් භාවිත කරමින් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව ජාවාරම් මැඬලීමට සහ ආපදාවලදී ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරමින් තිබෙනවා. 2025 වන විට සිවු වැනි යාත්‍රාවත් ලබා දෙන්නට කටයුතු සම්පාදනය වෙනවා. ශ්‍රී ලංකාවේ යාත්‍රා සංචිතය මේ අන්දමින් ශක්තිමත් කරන්නට ගන්නා වෑයම හරහා අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සඳහා අපේ ඇති අචල කැපවීමයි. එම මධ්‍යස්ථානය සමඟින් සම්බන්ධ වී අධිශිෂ්‍ය ව්‍යාපෘතියක් සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකික කාන්තා හමුදා නිලධාරිනිය වූ ලුතිනන් කර්නල් පෙරේරා වෙත සහතික ප්රදානය කිරීමේ ගෞරවය මට ලැබුණා. ඒ වාගේම එම සුවිශේෂී වැඩසටහනේ ආදි සිසුන් වූ 100කට අධික ශ්‍රී ලාංකික නිලධාරීන්ට මාගේ සුබාශිංසන පිරිනැමුවා. ගතවූ දස වසර තුළ එක්සත් ජනපදය උපකරණ, පුහුණු, හුවමාරු සහ වැඩමුළු ඇතුළු විවිධ ආකාරයේ ආරක්ෂක ආධාර වශයෙන් ඩොලර් මිලියන 110 ඉක්මවන ප්‍රමාණයක් ලබාදී තිබෙනවා.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමින් චෝදනා එල්ල වුණා. මානව හිමිකම් සුරක්ෂිත කිරීමෙහිලා ශ්‍රී ලංකාව ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කුමක් කිව හැකිද ?
ශ්‍රී ලාංකිකයින්ට වාගේම අපටත් අවශ්‍ය සාමකාමී, ප්රජාතන්ත්රවාදී සහ සියලුදෙනා ඇතුළත් කර ගන්නා, සියලුදෙනාගේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ශ්‍රී ලංකාවක් දැකීමටයි. ශ්‍රී ලංකාවේ සෑම ප්රජාවකට තමන් මේ රටට අයිති බවත් තමන්ගේ රටේ තමන්ට අනාගතයක් ඇති බවත් තමන්ගේ හඬට ඇහුම්කන් දෙන බව දැනීමටත් ඔවුන්ගේ භූමිකා සඳහා ගරුත්වය ලැබීමටත් හැකිවිය යුතුයි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වශයෙන් ඔබ කටයුතු කළ කාලපරිච්ඡේදයේ දෙරට අතර සබඳතා වර්ධනය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවා ද ?
මෙතෙක් මගේ ධුර කාලය තුළ මා සෘජුවම ජනතාව සමඟින් සම්බන්ධවීම ඉතා සතුටින් සිදු කළා. ජනතාවගේ දෘෂ්ටිකෝණවලට සවන්දීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා අපේ රාජතාන්ත්‍රික වෑයම්වලට ඇතුළත් කිරීම මාගේ ප්රවේශයේ වැදගත් අංගයක් වූවා. ඉදිරි වර්ෂයේ දී එය තවත් සිදුකිරීමට මා උදේ්යාගයෙන් බලාපොරොත්තු වෙනවා.
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් එහි ඇති වැදගත්කම හේතුවෙන් ආර්ථික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම අවධානය යොමු කළ තවත් වැදගත් පැතිකඩක්. නමුත් ආර්ථික වර්ධනය නොකඩවා පවත්වාගෙන යෑමෙහිලා පෞද්ගලික අංශය තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරනවා. ශ්‍රී ලංකා රජය පීස් කෝර් සංවිධානය නැවතත් ශ්‍රී ලංකාවට පිළිගැනීම ගැන අපි බෙහෙවින් උද්යෝගයෙන් පසුවෙනවා. දැන් පීස් කෝර් ස්වේච්ඡා සේවක සේවිකාවන් 20දෙනෙකු ශ්‍රී ලාංකික ඉංග්‍රීසි ගුරුවරුන් සමඟින් මෙරටේ මධ්‍යම සහ ඌව පළාත්වල පවුල්වල උණුසුම් ආගන්තුක සත්කාර මධ්‍යයේ ඉංග්‍රීසි ගුරුවරු වශයෙන් සේවය ලබා දෙනවා.
දෙරටේ සබඳතා ඉදිරියටත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ඔබ යෝජනා කරන්නේ කුමක් ද ?
වඩාත් ස්ථාවර, සුරක්ෂිත, ප්රජාතන්ත්රවාදී සහ සමෘද්ධිමත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකික ජනතාවට ඇති බලාපොරොත්තු සඳහා එක්සත් ජනපදය සහය දෙනවා. අපට අවශ්‍ය ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය පිළිබඳ කතාවේ කොටස්කරුවන් වන්නටයි. ශ්‍රී ලංකාවට දියුණු වීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම අරමුණු කරගෙන එ. ජ. සහය ලබා දෙන්නේ ඒනිසායි. අපගේ ද්විපාර්ශ්වීය සබඳතාවල ඉතිහාසය දෙස බලන විට එමෙන්ම වර්තමානයේ අප කරන සියලු දෑ දෙස බලන විට, මට හැඟෙන්නේ අපට එක්ව කළ හැකි දේවල් සම්බන්ධයෙන් සෑහෙන සුබවාදීකමක් ඇති බවයි. යහපත් මෙන්ම දුෂ්කර කාලවලදීත් අපි හොඳ මිතුරන් සහ හවුල්කරුවන් වේවිෙ
මහින්ද අලුත්ගෙදර