Sunday, May 18, 2025
Home » ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි -ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිතයි -ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර

by sachintha
April 24, 2024 1:00 am 0 comment

ඊශ්‍රායලයේ වත්මන් යුදමය තත්ත්වයක් පැවැතියත් එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ‘දිනමිණ’ට පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා මෙලෙස ද කීවේය.

“එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 70ක් පමණ නිවාසවල සේවය කරන පිරිසක්. එනිසා ඔවුන්ට කිසිඳු ගැටලුවක් නෑ. සෙසු සියයට 15ක් පමණ වන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කරන පිරිස ද ආරක්ෂිතව සිටිනවා.

යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කරන පිරිසට ද ආරක්ෂිත ස්ථාන කරා යොමුවීමේ හැකියාව පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත්. කෙසේ නමුත් ඊශ්‍රායලයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවෙනවා.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් 11,500ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරනවා. ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ඔවුන්ගේ පවුල්වල ඥාතීන් කලබල විය යුතු නෑ. ඇතැම් මාධ්‍ය මඟින් පෙන්වා දෙන ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් ඊශ්‍රායලයේ නෑ. කෙසේ වුවත් ඊශ්‍රායලයට එල්ල කරන මිසයිල ප්‍රහාර වැළැක්වීමට ශක්තිමත් ආරක්ෂක පද්ධතියක් එරට තුළ ක්‍රියාත්මකයි.

පවතින තත්ත්වය හේතුවෙන් ඇතැම්විට ගුවන් යානාවල ප්‍රමාදයන් සිදු විය හැකියි. නමුත් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ. මේ වන විට ගුවන් යානා ප්‍රවේශපත් වෙන්කර ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රමාද වී හෝ තම ගුවන් ගමන් අවස්ථාව ලැබෙන තෙක් රැඳී සිටින්න.”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT