දිවා රෑ විස අපද්‍රව්‍ය ගෙනැවිත් ඇත්තේ බවුසර්වලින් මාළුවෝ ඇතුළු සතුන් දහස් ගණන් මියගිහින් ජනතාවට කුඹුරට – ඇළට බහින්නත් බෑ
රුවන්වැල්ල, අමිතිරිගල උතුර ප්‍රදේශයේ ඇළ මාර්ගවලට කර්මාන්තශාලාවලින් බැහැර කරන විස රසායනික අපද්‍රව්‍ය ගෙනවිත් දැමීම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.
අමිතිරිගල උතුර, නඩුවත්ත, බටුවිට ප්‍රදේශවල ජනතාව වැඩිදුරටත් පවසන්නේ ප්‍රධාන මාර්ගය අසල තිබෙන ඇළ මාර්ගවලට මෙලෙස රාත්‍රී කාලයේදී හා දහවල් කාලයේදී බවුසර් මඟින් මෙම විස රසායනික අපද්‍රව්‍ය බැහැර කරන බවයි. මේ හේතුවෙන් තමන්ට ඇළ මාර්ගවලට සහ කුඹුරුවලට බැසීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මාළු ඇතුළු අනෙකුත් සතුන් ද මියගොස් ඇති බවත් ඔවුහු පවසති.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමිතිරිගල ශ්‍රී ධම්මාලෝක පිරිවෙන් පුරාණ විහාරාධිපති රුවන්වැල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ද්විතීයික සංඝනායක බෙත්මගෙදර නන්දාරාම හිමියෝ මෙසේ කීහ.
“මෙම විස සහිත රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම කාලයක සිටම සිදු කරනවා. නමුත් පසුගියදා ප්‍රදේශවාසීන් මෙම අපරාධය කරන වාහනයකුත් අත්අඩංගුවට ගත්තා. මෙම පරිසර විරෝධී ක්‍රියාව හේතුවෙන් මාළු, මැඩියන් වැනි සතුන් විශාල වශයෙන් මියයනවා. ගොවි ජනතාවට කුඹුරකට, ඇළකට බැසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. බලධාරීන් මේ පිළිබඳව දැනුම්වත් කළත් මේ දක්වාම කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පරිසර විනාශකාරී ක්‍රියාව තවදුරටත් කිරීමට ඉඩ නොදී මේ සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙසයි.”
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි සමන් ඉදිරිසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
“අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශය අලංකාර පරිසරයකින් යුත් ජලපෝෂක ප්‍රදේශයක්. ගොරකඇල්ල, ලබුපිටිගම ඔය ආදී ජල මාර්ගවලට සම්බන්ධ ඇළ මාර්ගවලට තමයි මේ විදිහට මේ විස රසායනික මුදා හරින්නේ. මාළු විශාල වශයෙන් මියයනවා. කුඹුරුවලට බහින්න එපා කියලා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියනවා. ප්‍රදේශවාසීන් ආරක්ෂා කරන පරිසරය පිටස්තරෙන් ඇවිත් අපවිත්‍ර කරනවා. මේ ගැන බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු කොට මෙම පරිසර විනාශය නතර කර දෙන ලෙසයි මා ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින්නේ.”
ගම්පහ අධිකරණ වාර්තාකරු