විහාරගොඩ කැලේ වැඩ විසූ මුදිතරතන හිමිගේ අවසන් කටයුතු සිදු කළ ආකාරය – සේනාසනාධිපති හිමියෝ පහදති
අම්බලන්ගොඩ කන්දෙගොඩ විහාරගොඩ කැලේ විවේක ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ දෙහිපිටියේ මුදිතරතන හිමියන් පෙරේදා (22) පෙරවරුවේ අපවත් වී ඇති අතර පැය කිහිපයක් යන්නට මත්තෙන් එදින පස්වරුවේම දේහය බටපොළ ආදාහනාගාරයේදී ආදාහනය කර අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
මුදිතරතන හිමියෝ අපවත් වන විට 75 වැනි වියේ පසු වූ අතර, විහාරගොඩ කැලේ විවේක ආරණ්‍ය සේනාසනාධිපති බටුවන්ගල සුමනසිරි හිමියන් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පළ කළේ මෙවන් අදහසකි:
“උන් වහන්සේ ජීවත්ව සිටියදී දායකයන් අවශ්‍ය සත්කාර සියල්ල කළා. උන් වහන්සේ අපවත් වූ පසු දායකයන් යෝජනා කළා දින කිහිපයක් උන් වහන්සේට අවසන් ගරු බුහුමන් දක්වන්න ඕනෑ කියල. ඒත් පසුව මම තීරණය කළා එදිනම සියලු කටයුතු අවසන් කරන්න.
අනෙක පහුවදා (23) පෝයදා සිල් ඇත්තන් දුර බැහැර ඉඳලා මේ සේනාසනයට සිල් ගන්න එනවා. ඒ අය හරවා යැවිය නොහැකියි. අනෙක් කාරණය තමයි මේ දිනවල දායකකාරකාදීන් ජීවත් වන්නේ හරිම අමාරුවෙන්. ඔවුන් අතේ මුදල් ඇත්තේ නෑ. අප මුදල් පරිහරණය කරන්නේ නෑ. ඒ අයට තමයි මේ ආදාහන කටයුතු සඳහා විශාල වියදමක් දරන්න වෙන්නේ. ඒක මේ වෙලාවේ දායකයන්ට කරගන්න අමාරු බව මම දන්නවා.
අනෙක ජීවත්ව සිටියදී පින්දහම් කරගෙන ඉඳලා අපවත් වූ විට දින ගණන් අවසන් ගරු බුහුමන් දැක්විය යුතු නෑ. මම දායකයන්ට කියල තියෙන්නෙ මගේ අවසන් කටයුතුත් එක් දිනක් ඇතුළත කරන්න කියලයි. ගුණ ගායනා, අවසන් ගෞරව, බැනර් කොඩි සේසත් මට කරන්නත් එපා. මේ හාමුදුරුවන්ගේ ෆොටෝ එකක්වත් නෑ. හැඳුනුම්පත පමණයි තියෙන්නෙ.”
දායක සභාවේ සංවිධායකයකු වූ ඒ.පී. නන්දදාස මහතා:
“උදේ තමයි හාමුදුරුවෝ අපවත් වුණේ. අපි නම් කැමැති වුණා දවස් කීපයක් දේහය දාන ශාලාවෙ තැන්පත් කරලා උන් වහන්සේට අවසන් ගෞරව දක්වලා චිතකයක් හදලා ආදාහන පූජෝත්සවය සිදු කරන්න. ඒත් අපේ සේනාසනාධිපති හාමුදුරුවන්ගෙ කැමැත්තට අප ඉඩ දිය යුතුයි. පස්වරුවේ බටපොළ ආදාහනාගාරයේ අවසන් කටයුතු කරන්න දායකකාරකාදීන් කවුරුත් තීරණය කළා. අනවශ්‍ය බැනර් සැරසිලි ආදිය කිසිවක් නෑ. අප උන් වහන්සේ වෙනුවෙන් සත් දවසේ දානය සූදානම් කරලා උන්වහන්සේට පින් පමුණනවනවා.”
විහාරගොඩ ග්‍රාම නිලධාරී එන්. ජයරත්න මහතා පැවසූයේ මේ සිද්ධිය දැනගත් මොහොතේ වහාම බලපිටිය ප්‍රාදේශීය ලේකම් මාලක ජයසිංහ මහතා දැනුවත් කර මේ ස්ථානයට පැමිණ උන් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා අදාළ රාජකාරි ඉටු කළ බවයි.
ගාල්ල දිස්ත්‍රික් සංචාරක
ධර්මදාස සිරිවර්ධන