විදේශ රැකියා දෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එකතු කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළේය.
මෙසේ මුදල් ගන්නා ජාවාරම් වැළැක්වීමට ගත යුතු සියලුම පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා නියෝග කළේය. මෙම විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම කිරීමට සෑම පහසුකමක්ම දෙන ලෙස ඇමැතිවරයා කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අපට දිනපතාම විදේශ රැකියා සම්බන්ධව මුදල් අය කර ගැනීම් පිළිබඳව පැමිණිලි ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි සම්පූර්ණ විමර්ශන කණ්ඩායමක් ගෙනත් සාකච්ඡා කර මේකට තීන්දු ගන්නේ. අපට නිර්ණාමික පැමිණිල්ලක් ඇවිත් තියෙනවා, ඊශ්‍රායලයේ විදේශ රැකියා දෙන බවට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන්. අනුරාධපුරයට ආසන්න එක්තරා විහාරස්ථානයකට හයසියයක පමණ පිරිසක් එහි විහාරාධිපති හිමි මැදිහත් වීමෙන් ගෙන්වා පොලිස් ස්ථානයක සාජන් මහත්තයෙක් මැදිහත් වෙලා, වෛද්‍ය වාර්තා, රුධිර වාර්තා, වෛද්‍ය පරීක්ෂණ ගෙන මුදල් අය කරගැනීමක් පිළිබඳව වාර්තා වෙනවා.
අපි හාමුදුරුවන්ගේ නමවත්, පොලිස් ස්ථානයේ නමවත්, එම ප්‍රදේශයේ නමවත් කියන්නේ නෑ. හැබැයි මේ වගේ සිද්ධියකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් හෝ කවුරු හරි මේ වගේ පුද්ගලයකුට මුදල් දී තියෙනවා නම් ඉතා ඉක්මනින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි දෙන්න. ඔහුගේ තරාතිරම අපට කිසිම ප්‍රශ්නයක් නෑ. බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් හැර කිසිම ආයතනයකට මුදල් ගැනීමේ බලයක් නෑ. ඕනෑම කෙනෙක් විදේශගතවීම් සඳහා මුදල් ගෙන තියෙනවා නම් වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිත් අපේ විමර්ශන අංශය පැමිණිලි භාර දෙන්න.
කිසිදු විදේශ රැකියාවකට යෑමට කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් ගෙවිය යුතු නෑ. මේ වගේ මුදල් ගෙවා තියෙන කිසියම් කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පැමිණිලි කරන්න ඉතා ඉක්මනින් එන්න. මේ පැමිණිලි ඉතාම අත්‍යාවශ්‍යයි.”
සුභාෂිණී සේනානායක