අක්‍රිය ජංගම ගිණුමකින් විදේශ ගුවන් ගමන් ගාස්තු ගෙවීමේ චෝදනාවකට වරදකරුවූ තරැව්කරුවකුට කොළඹ මහාධිකරණය ඊයේ (29දා) වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 5කින් ගෙවී යන ලෙස දඬුවම් නියම කළේය. මෙයට අමතරව මහාධිකරණ විනිසුරවරයා විත්තිකරුට රුපියල් 3,09,000ක දඩ මුදලක් රජයට ගෙවන ලෙස නියම කරන ලදි.
චූදිතට එරෙහිව දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එම දඩ මුදල් නොගෙවන්නේ නම් වසර 3ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
එම්. සකරියා ඛේටා නමැති විත්තිකරු 2006 වසරේ මැයි මස 24දා සහ ඔක්තෝ්බර් 30දා අතර කාලය තුළදී වසා ඇති ගිණුමක් බව දැන දැනම අවස්ථා කිහිපයකදී ගුවන් ටිකට් පත් සඳහා රුපියල් 20,03,748ක් වටිනාකම ඇති චෙක්පත් නිකුත් කර තිබේ. එම චෙක්පත් අගරුවීමෙන් පසු කොළඹ පිහිටි ට්‍රැවල් කනෙක්ෂන් නමැති අදාළ ගුවන් ගමන් නියෝජිත ආයතනයේ හිමිකරු වන පොඩි මරක්කල විදානේලාගේ විමල් ලක්සිරි පෙරේරා නමැති අය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇත. පසුව ඔවුන් විමර්ශනයක් පවත්වා අදාළ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අපරාධ නඩු විධිවිධාන සංග්රහයේ 3 වැනි වගන්තිය යටතේ සහ දණ්ඩ නීති සංග්රහයේ 403 යටතේ වංචා කිරීමේ වරදට, සංශෝධිත ණය ආපසු අයකර ගැනීමේ පනතේ 25.1 (අ) වගන්තිය යටතේ අධිචෝදනා 11ක් ගොනුකර තිබේ.
රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය පැමිණිල්ල මෙහෙය වූ අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් කොස්තාපල් ආර්.ඩී.ටී. රත්නායක මහතා (69057) සාක්ෂි ඉදිරිපත් කරන ලදි.