ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුදල් විශුද්ධිකරණ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද(30) නියෝග කළේය.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ, කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
තීන්දුව ලබා දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසිනි.
විත්තිකරුගේ වරද සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ප්‍රශ්නගත කොළඹ 7, කිංසි පාරේ නිවස මිලදී ගැනීම සඳහා යෙදවූ රුපියල් මිලියන 27ක මුදල විත්තිකරුට අයත් වාහන බලපත්‍රයක් විකිණීමෙන් ලබාගත් රුපියල් මිලියන 26ක මුදලින් සහ බැංකු ණයක් වශයෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් යොදා ගෙන ඇති බවත් සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බව ය.
විත්තිකරු විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශය තුළින්ද මෙම කරුණ අනාවරණය කර තිබේ.
මේ පිළිබඳව කරුණු දැක්වූ විනිසුරුවරයා “මෙම විමර්ශනයට අදාළව ජාලිය ගුණසේකර නමැති පුද්ගලයෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා සඳහන් කර තිබුණා විත්තිකරු රුපියල් මිලියන 26ක මුදලක් ඔහුගේ වාහන බලපත්‍රය විකුණා ලබාගෙන තිබූ බව. එම පුද්ගලයා සාක්ෂිකරුවකු වශයෙන් නම් කර තිබුණත් ඔහුගේ සාක්ෂි කැඳවීමට පැමිණිල්ල පියවර ගත්තේ නැහැ. එවැනි සාක්ෂි කැඳවීමක් සිදු කළා නම් මෙම කරුණ නඩු විභාගයේදී අනාවරණය කර ගැනීමට හැකියාව තිබුණා.” යනුවෙන් පැවසීය.
මෙම නඩුවට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි විසින් ලබා දුන් සාක්ෂිය තුළින් ද එම කරුණ ඔහු විසින් පිළිගෙන තිබේ.
නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී නඩුවට පාදක වන රුපියල් මිලියන 27 ක මුදල විත්තිකරු විසින් නීති විරෝධී සාපරාදී පරිහරණයකින් හෝ අල්ලසක් වශයෙන් ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
විත්තිකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති අතර මුදල් විශුද්ධිකරණය චෝදනා යනු බරපතළ චෝදනාවක් බවත් විනිසුරුවරයා පැවසීය.
“මුදල් විශුද්ධිකරණය කියන්නේ ඉතා බරපතල චෝදනාවක්. එම චෝදනාව ඔප්පු කිරීමට නම් ඊට අදාළ සංඝටක කිහිපයක් සම්පූර්ණ වී තිබිය යුතුයි. ඒවා සාක්ෂි මගින් තහවුරු කළ යුතුයි. එහෙත් මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යටතේ වූ චෝදනා තහවුරු කිරීමට පැමිණිල්ල ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැහැ.” යනුවෙන් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
එසේම විත්තිකරු විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශය තුළින් සිය වාහන බලපත්‍රය විකිණීමෙන් ලබාගත් රුපියල් මිලියන 26ක මුදලක් සහ ණයක් වශයෙන් ලබා ගත් රුපියල් මිලියන 10 ක මුදලක් යොදවා අදාළ නිවස මිලදී ගත් බව ප්‍රකාශ කර තිබුණි.
විත්තිකරු කළ එම ප්‍රකාශයේ සත්‍ය භාවය සම්බන්ධයෙන් සැකයක් මතු වී නොමැති බවත් විනිසුරුවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකරු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.