බුද්ධිමය දේපළ පිළිබඳ කාර්යංශයේ ලියා පදිංචි නීත්‍යානුකුල වෙළෙඳ ලාංඡන ව්‍යාජ ලෙස මුද්‍රණය කොට නිෂ්පාදනය කරන ලද ව්‍යාජ තෝර බීඩි සහ විජය බීඩි අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් සහ එක් චෝදනාවකට රුපියල් හතළිස් දහස බැගින් රුපියල් අසූ දහසක දඩයක් ද වින්දිත පාර්ශ්වයට රුපියල් විසි දහස බැගින් රුපියල් හතළිස් දහසක වන්දියක් ද ගෙවීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිර දඩුවම වසර පහකට අත්හිටුවනු ලැබීය.
දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින් ද සිර දඬුවම් ද විත්තිකරුට නියම කෙරිණි. මෙසේ සිර දඬුවම් සහ දඩ නියම ලැබුවේ අක්මීමන, වලහන්දුව, ගිනිගල්තුඩුව හිරුවත්ත කංකානම්ගේ චමීර සඳරුවන් නමැති ව්‍යාපාරිකයකුටය. තමන් රජයට විශාල ලෙස බදු ගෙවමින් නීත්‍යානුකූල ලෙස බීඩි නිෂ්පාදනය කරනු ලබන බවත් තම ආයතනයේ ලාංඡන භාවිත කරමින් නිෂ්පාදනය කරන ලද ව්‍යාජ තෝර බීඩි සහ විජය බීඩි විත්තිකරු විසින් අලෙවි කරන බවත් පවසා මීගමුව, පිටිපන තෝර බීඩි කර්මාන්ත ශාලාවේ බෙදා හැරීමේ කළමනාකරුවන දෙහිවලගේ ජීවක ලසන්ත පෙරේරා යන අය විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබිණ. ඒ අනුව උපාය දූතයකු යොදවා බීඩි මිලට ගෙන, පොලිසිය ගොස් ව්‍යාජ තෝර බීඩි 20 බැගින් අඩංගු බණ්ඩල් 63ක් ද ව්‍යාජ විජය බීඩි 20 බැගින් අඩංගු බණ්ඩල් 33ක්ද විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටියදී සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පිළිබඳ කාර්යංශයේ ලියාපදිංචි තෝර බීඩි ලාංඡනය සහ විජය බීඩි ලාංඡනය භාවිත කරමින් ව්‍යාජ බීඩි නිෂ්පාදනය කොට අලෙවි කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා උප පොලිස් පරීක්ෂකවරුන් වන උදය කාන්ත, ප්‍රේමකුමාර යන මහත්වරුන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට පැමිණිල්ල මෙහෙයවනු ලැබිය.