අධික ලාභාංශ ලබාදෙන බව පවසමින් තමන්ව පිරමීඩ ජාවාරමකට යොමුකර රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ බවට පුද්ගලයන් 18 දෙනකු මහනුවර ගඟවට කෝරලය ප්‍රාදේශීය සභාවේ ඉහළ නිලධාරියෙකුට එරෙහිව මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 30 දක් වූ මුදල් අදාළ නිලධාරියා විවිධ පුද්ගලයන්ගෙන් ලබාගෙන තිබෙන බවට පැමිණිලි ඉදිරිපත්ව තිබෙන බව පොලිසිය පවසයි.
ඔන්මැක්ස් ඩී.ටී නමැති පීරමීඩ ජාවාරම සඳහා පුද්ගලයන් ගණනාවක් යොමුකර තිබෙන මෙම නිලධාරියා ද ලක්ෂ ගණනින් මුදල් එහි ආයෝජනය කර තිබෙන බව අනාවරණය වී ඇත.
අදාළ නිලධාරියායේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින අතර මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ වංචා විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
රාජකාරියේ නිරතව සිටිය දී සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද මෙම නිලධාරියාට එරෙහිව එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද පළාත් පාලන කොමසාරිස්වරියගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇත.